මේ රෑ ජාමේ දත්ත අනුභව කරමින් කොම්පැණි පෝසත් කරන්නට මේකේ උඩට යටට යමින් සිටි අතරේ දුටු පෝස්ට් එකක්. ඒකේ තිබුනේ අම්මා කෙනෙක් පුතාට කියවන්න සුදුසු පොත් වල නම් ඉල්ලලා. පුතා තමන් කියවපු පොත් වල නම් ලියලා පොතකුත් හදලා.
ඉතින් මේ කියන්න හැදුවෙ පොඩි දවස් වල මං ගැන. එක දාස් නමසිය අසූ ගණන් වල මුල් කාලේ මටත් තිබුණා ඔය වගේ ප්‍රශ්නයක්. ඒ දවස් වල පත්තර බලනවා. අහුවෙන අහුවෙන දේම කියවනවා. සීයාගේ බණ පොත් හැරුණු කොට ගෙදර තිබුන පොත් සියල්ලම කියවලා ඉවර වුනාට පස්සේ ඔහොම ඉන්න කොට දවසක් තාත්තා මාව එක්ක ගෙන ගියා තැනකට.
එතන නම තමයි තල්පිටිබද්ද උප කාර්යාලය, දැන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයිති. අපි කිව්වේ V.C. ඔෆිස් එක කියලා. එතැන කාර්යාලය පිටුපස තිබුණු පැරණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පුස්තකාලයට. ඇත්තටම පුස්තකාලය තිබුනේ කලින් පවත්වාගෙන ගිය විදුලි උපපොලේ. තාත්තා පළාත් පාලන සේවයේ හිටපු නිසා එම කාර්යාලයේ ඔහුගේ සමකාලීන මිත්රයින් අපි කවුදැයි කියා දැන හැඳින සිටියා.
එතනට ගියාම මගේ වයස අහලා බලන කොට මට සාමාජිකත්වය ගන්න බැහැ. පොඩි වැඩියි. ඒ වෙනකොට කීවෙනි පන්තියේ හිටියද කියලා නම් මතකයක් නැහැ. ඉතින් තාත්තාගේ ඇඳුණුම් කම පාවිච්චි කරලා සාමාජිකත්වය තාත්තාටත් පොත් මටත් ගන්න පුළුවන් විදියට වැඩේ ලෑස්ති කරගත්තා. මම කලින් පුස්තකාල දැකලා තිබුණට පාවිච්චි කරලා තිබුණේ නැහැ. මේ පළමු අත්දැකීම. ඉඩකඩ අඩු වුණත් පොත් විශාල ප්‍රමාණයක් එහි තිබුණා. බැහැර ගෙන යාමට දෙන පොත් වගේම එහි සිට පරිහරණය කිරීම සඳහාත් පොත් තිබුණා. එකල පළකල සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සියල්ලම පාහේ එහි මේස වල ලී පටි වලින් තද කොට පාඨක පරිහරණය ට තබා තිබුණා. දිනමිණ ඩේලි නිව්ස් වැනි ලේක්හවුස් පත්තර සියල්ලම සහ නම් මතක නැති තවත් වාර සඟරා බොහෝ ගණනක් එහි තිබුණා. මේ සියල්ල ආරක්ෂා කරන්නට පුස්තකාලයාධිපතිනියක් එහි අරක් ගෙන සිටියා. සාමාජිකත්වය සඳහා කොළපාට කුඩා කාඩ්පත් දෙකක් මට ලැබුණා. හා හාපුරා කියා මා විසින් ලබා ගත් පොත් දෙකත් රැගෙන ඉක්මණින් ගෙදර ගියේ හැකි ඉක්මනින් කියවා නිමාකොට තවත් අලුත් පොත් දෙකක් වෙත මාරු වෙන්නට. කෙසේ හෝ දිවා කාලයේ මා නැවත ගොස් පොත් මාරුකර ගත්තා. කලක් ගතවන විට මල්ලිිත් පොත් කියවීමට හුරු වූ නිසා ගෙන එන පොත් ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. පොත් ගෙනයාමට අඬ දබර ඇති කරගත් අප දෙදෙනා පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයන් බවට නිතැතින්ම පත් වුණා. අප වාසය කල ගෙදර සහ අප නිතර රැඳෙන, අාච්චිලාගේ ගෙදර අතරමැද පිහිටා තිබූ නිසා පුස්තකාල ගමන අසිිරු එකක් වූයේ ද නැහැ. අම්මාට අනුව අප කළ එකම වරද වූයේ කියවන්නට ගත් පසු වේලාව ගත වීම අපගේ සිත් වලට විශේෂයෙන්ම ඔළුවට දැනෙන්නේ නැති වීමයි. මේ නිසා ආහාර පිසීම පමණක් නොව පිස අහවර වී අප දෙදෙනාටම කැවීමටත් අම්මාට සිදු වුණ වාර බොහෝයි.
තාත්තා හඳුනන කෙනෙකුන් වූ පුස්තකාලයේ අධිපතීන් විසින් අපට "තහනම්" කළ නවකතා පොත් සහ බැහැර ගෙන යාමට නොදෙන පොත් හැරුණු කොට අප දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පුස්තකාලයේ ඇති සියලු පොත් කියවා අවසන් කොට තිබුණා. එයින් සමහර පොත් දෙතුන් වතාවක් කියවා තිබුණා.
එක් වරක් "ග්‍රීම් කතා" පොත පාසලේදී නැතිකරගත් මම පොත ප්‍රමාද ගාස්තු සමගින්ම අලුත්ම පොතක් ලෙස නැවත පුස්තකාලයට බාර දුන්නා.
පසු කලෙක වැඩීම දුර්වල වූවත් වසරින් වසර අලුතින් පොත් එකතු වෙමින්, අප ජිිවිත වලට මහා වෘක්ෂයක් වන් වූ මේ පුස්තකාලය එක් දහස් නවසිය අසූ ගණන් වල අග භාගයේදී ගිනිබත් ව අළු බවට පත් වුණා.
නැවත එම පුස්තකාලය විවෘත වූවත් අප නැවතත් එහි ගියේ නැහැ.
නැවත සිහි කරද්දී මිහිරි මතක ගෙනෙන අප කුඩා කල ගත කළ ජීවිතයේ සොඳුරු මතකයන් නැවතත් එලෙසම අපට ලැබෙන්නේත් නැහැ.
මේ සියල්ල ලියවෙන්න හේතුව මා මුලින් කී අම්මාගේ ඉල්ලීම. එය මාගේ සිතේ පැලපදියම් ව අසම්පූර්ණ සටහනක් ලෙස නිදි වර්ජිතව මෙලෙස අකුරු බවට පරිවර්තනය වුණා.