කාලෙකට පස්සේ අද මට පානදුරේ අවට සැරි සරන්න ලැබුනා නිදහසේ.
කෙටි බස් රථ ගමනක් සහ ඉන් පසු පයින් ඇවිදගෙන ගෙදරට ආවා. එලෙස ගෙදරට ආ පසු වෙනදාට ලැබෙන අම්මාගේ තේ එක අද ලැබුනේ නැහැ. එනමුත් අම්මා දෙස බැලූ කල ඇයටත් එළෙසම මතක් වන්නට ඇතැයි සිතුනේ මහන්සි දැයි ඇය ඇසූ විටයි. අසනීප වූ පසු වෙනදා මෙන් ඇගේ ජීවිතය දැන් සාමාන්‍ය නැහැ. ඇයට තනිවම වැඩ කටයුතු කර ගැනීම අපහසුයි. පසු ගිය කාලයේ ඇය මුහුණ දුන් අතෝරක් නැති කරදර බොහෝ විට තනිවම දරා ගනිමින් අප ජීවිත සාමාන්‍යාකාරයෙන් ගත කිරීම සැලැස්වීමට ඇය ඉමහත් වෙහෙසක් ගත්තා. මාමලා සහ පුංචි අම්මලා ඇතුලු මම නම් වශයෙන් නොකීවත් සහය දුන් සියළු දෙනාගේම වෙහෙස මධ්‍යයේ අද අම්මා මේ ආකාරයෙන් හෝ සුවපත්ව සිටීම සිතට මහත් සහනයක්. තමන්ගේ අමාරු ගැන නොසිතා ඇය තවමත් අපගේ මතු සුබ සිද්ධිය තකා වෙහෙසෙනවා. හැම දෙයක් ගැනම සිතනවා. එදා මෙන්ම අදත්, එළෙසම මතුවටත් ඇය තම දරු දෙදෙනා ගැන සිතමින් වෙහෙස වනු ඇති.
තේ කෝප්පය මතක් වූවාත් සමගම මතක් වුන තවත් දෙයක් සිතුවිලි වෙනතකට යොමු කලා, කුඩා කළ පාසල් කාලයෙන් පසු අප නිවසට යන්නට පෙර පුරුද්දක් වශයෙන් මහවිල අම්මාගේ මහ ගෙදරට ගොස් කා බී පත්තරය බලා ගිමන් හැරීමත් සමහර දින වල අම්මාද ප්‍රමාද වී පාසලින් පැමිණී දිනවල අප තුන් දෙනාම පයින්ම අප නිවසට යාමත් සිදු කෙරුනා. අප සාමාන්‍යයෙන් පැමිණෙන වෙලාව සවස 3ට පමණ. ආච්චිගේ තේ කෝප්පය ලැබෙන තෙක් ආතා ගෙන් ඉල්ලා ගෙන පත්තරය බලමින් එහි ඇති සියලුම දෑ කියවන මට වෙලාව ගත වීම දැනුණේ නැහැ. දිවයින පත්තරේ බදාදා අතිරේකය නිසා විශේෂයෙන් බදාදාට පත්තරය බලන වෙලාව වැඩියි. ආච්චි සාදා දෙන තේ කෝප්පය බිව් පසු මහන්සිය කොහෙන් ගියා දැයි දන්නේ නෑ, පසු කලෙක ඒ තේ කෝප්පය සාදා දුන්නේ අම්මා. ඒ රසට උණු තේ කෝප්පයක් නැවත ලැබෙන්නේ නැහැ.
අද මෙන් කාපට් අතුරා පළලින් යුතු පාරවල් නොතිබූ ඒ සමයේ වාහන ගමන් කලේ ද සාපේක්ශව අඩු වශයෙන්. බස් රථ දෙකක් මාරු වීමට තරම් පළලින් යුතු ගල් අතුරා තාර දමා තිබූ එමෙන්ම අතරින් පතර කැඩී බිඳී තිබූ පානදුර හොරණ පාර ඔස්සේ අප පයින්ම ඇවිද ගියා. ගමනේ මුලින්ම පුරන්ව තිබුනු මහවිල වෙල් යායත් ඒ මැද ඇල මාර්ගය සහ යකඩ ඇඳි සහිත පටු පාලමත් පිංකොටුව හන්දිය ඊට පසු ඇවරිවත්ත පාරත් පසු කොට පමුණුගම දක්වා අප ගමන් මග යෙදී තිබුණා. කිලෝ මීටරයක් හෝ ඊට අඩු දිගු ගමනේ අතරමග හමුවන මිතුරන් වෙත ආචාර පවත්වමින් බරැති පාසල් බෑගය කර මත එල්ලා ගෙන යන ගමන කවදාවත් වෙහෙසකර වූයේ නැහැ. ගමන අතරමග වැඩි වශයෙන් තිබුණේ නිවාස සහ අතලොස්සක් වූ කඩ සාප්පු. ගමන අතරමග අයිවන් මුදලාලිගේ කඩයෙන් ටොපි හෝ චොකලට්, බුල්ටෝ ලැබීම අත ඇති මුදල අනුව තීරණය වුනා.
සමහර දින වලදී ගම් සභා පුස්තකාලය වෙත ගොස් කියවූ පොත් බාර දී අලුත් පොත් තෝරා මාරු කොට අනිකුත් පත්තර ද බලා පුස්තකාලය වසන තුරුම එහි කාලය ගත කලා. තාත්තාගේ හිත මිතුරන් එහි වූ නිසා අපගේම තැනක් වූ තල්පිටිබද්ද ගම්සභා උප කාර්‍යාලයේ පුස්තකාලය එක් අඳුරු රාත්‍රියක ගිනිබත් වන තුරු ඒ දක්වා අපගේ කියවීමේ පිපාසය නිවමින් සේවය සැලසුවා. සමහර දිනවල අප එලියට බහින්නේ පුස්තකාලය වසා එහි කාර්‍ය මණ්ඩලය පිටත් වන්නට සැරසෙන විට. අමතර පංති කිසිවක් නොතිබූ ඒ කාලය හරිම සුවපත් එකක්.
රාත්‍රිය උදා වී ඇත්නම් ආච්චී හෝ ආතා, ඔවුන්ගෙන් කෙනෙකු වෙහෙස නොබලා අප සමග නිවසට යාමට පැමිණීමත් යම් හෙයකින් අපගේ ප්‍රමාද දරා ගත නොහැකිව අප සෙවීමට පැමිණෙන අම්මා හෝ තාත්තා මගදී හමු වීම සිදු විය. එය ඉතාමත්ම කලාතුරකින් සිදුවූ අතර අද මෙන් ජීවිත කාර්‍ය බහුල නොවූ එ සමයේ අඳුර වැටීමට පෙර නිවසට යාම අප පුරුද්දක්ව පැවතිණි. මෙකල මෙන් වීදි පහන් බහුලව නොමැති වූ ඒ කාලයේ විදුලි පන්දම් නොහොත් ටෝච් සමග රාත්‍රී ගමන් තාත්තා සමග සිදු විනි. රාත්‍රීන් බොහෝ නිසල හා නිශ්ශබ්ද වූ අතර සමහර දිනක අහල පහලක ගෙදරක හඬ අඩුවෙන් ක්‍රියා කරන රේඩියෝවක ශබ්දය ඈතට පවා පැහැදිලිව ඇසෙන මට්ටමක පැවතිනි.
අද මෙන් නිවෙස් වටා තාප්ප ඉදිකර ගේට්ටු දමා අගුළු ළා නොතිබූ සමයක එන ඕනෑම වෙලාවක අප පිළිගත් ආච්චිත් ආතාත් සහ ඔවුන්ගේ සත්කාර තවමත් මතකයෙහි රැඳී පවතී. කාලය ගත වීමත් සමග ඔවුන් සමග ගත කල සමය කෙමෙන් නිමා වූවද ඔවුන් අපගේ පැමිණීම බලාපොරොත්තු වූ බව මම ඉඳුරාම දනිමි. එලෙස ආච්චිලාගෙ ගෙදර යන පුරුද්ද නතර වුනේ ආතා මෙන්ම ආච්චීද මිය පරලොව ගොස් කාලයකට පසුය. ඒ අප නව නිවසටද ගිය පසුව.
කාලය ගත වී ගොස් අපද වෙනස් වී ඒ හා සමානුපාතිකව අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වූවත් මහවිල කන්ද පාමුල, හොරණ පාර අයිනේ වූ ගැට පිච්ච මල් වැටත් සේපාලිකා මල් ගහත් ඇතුලු ඒ නිවස අප කුඩා කල ගත කල ඒ ජීවිතය මතකයේ බැඳී පවතිනු ඇත. මම නැවත වරක් අම්මා බලන්නට එන බලාපොරොත්තුවෙන් මගේ නවාතැන වෙත පිටත්ව යන්නෙමි.
මේ වචන කිහිපය මා මුලින් සඳහන් කල ඒ සිතුවිලි නිදහසේ සැරි සැරීම තව දුරටත් නතර කරගත නොහැකිව, තෙරපෙන සිත නිදහස් කර ගැනීමක්. අප හමු නොවනා ඒ අතීතය අදට මම අවසන් කරමි.

