ජීවිතය නම් වූ ගමන් මඟේ ආපසු හැරී බැලීමක්
අද දිනය වෙනුවෙන් මේ අවකාශයේ කුමක් හෝ කුරුටු ගෑ යුතු බව මට සිතුණේ මීට සති කිහිපයකට කලින්. එහෙත්, කුමක් ලිවිය යුතුද? කෙසේ එය ලිවිය යුතුද? යන්න දැනටත් මා සිත ඇති ප්‍රශ්නයක් මිස, ඒ ගැන සිතීමෙන් වුණු ඵලයක් නම් නැත.
මේ මහ පොළොව මත, එහෙමත් නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින බවට දන්නා එකම ග්‍රහලෝකය වන සූර්යයාගේ සිට තුන්වැනි ග්‍රහලෝකය මත, මා නිසලව සිටින මේ මොහොතේ පවා ඉර වටා අපි පැයට කිලෝමීටර 107,000ක වේගයකින් අප මිත්‍ර අයේෂ්ගේ හිස මෙන් අංශක 2331 කින් ඇලව පරිභ්‍රමණය වෙමින් ගමන් කරන්නෙමු. ඒ ගමන් වාර පණහක් මේ වන විට අඩු වැඩි වශයෙන් සම්පූර්ණ කර ඇත.
ඒ ගතවූ කාලය තුළ පසුකළ සියලු දේ අද වන විට මතකයේ නැතත්, අමතක නොවී ඉතිරි වූ සුන්දර මෙන්ම විටෙක අසුන්දර වූ මතක සටහන් ගොන්නක් සිතින් තුරුලු කරගෙන අද ආපසු හැරී බලමි.
කාලය, බැඳීම් සහ පාඩම්
වසරකට වරක් මෙලෙස කටු සටහන් ඉතිරි කොට ඒ දිනයන් පසුව ගිය නමුදු, අද උදෑසන අම්මාගේ දුරකථන ඇමතුම ගෙනාවේ මට ඊට වඩා වෙනස් වූ හැඟීමකි. ඊටත් පසුව දහවල් කාලයේදී අහන්නට ලැබුණු ගීත කොටසක් ඔළුව තුළ නැවත නැවතත් වාදනය වන්නට වුණා:
...දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට...
විවිධ වූ හැල හැප්පීම් මැද ගලා යන ජීවිතයට සතුට ගෙනා අය මෙන්ම යමක් සිතන්නට ඉඩ දී මඟින් හැරී ගිය අය ද සතුටින් සිහි කරමි. ඒ සියලු දෙනා ජීවිතයට පන්නරයක් ලබා දුන් බැවිනි.
තාත්තා මෙලොව හැර ගොස් දැන් කලක් ගත වී ඇත. ඔහුගේ උපන් දිනයද පසුගිය දිනෙක පසු විය. කතරගම සිටි මා හසල් ඉපදුණු දවසේ රෝහලට පැමිණෙන්නට කාලය ලැබුණේ මඳක් පමාවීය. ශල්‍යාගාරයේදී බිලිඳු පුතු දුටු විට එදා මට මතක් වූ දේ මෙන්ම, මා ඉපදුණු දා තාත්තාටද එළෙසින්ම සිතන්නට දේ තිබෙන්නට ඇති. ඒ සියල්ල අතීතයට භාර කරමි.
සිනහව සහ අත්දැකීම්
මෙපමණ කලක් මේ මහ පොළොව මත වසන්නට උදව් කළ උදවිය බොහෝ සිටිති. සුමංගලයේ බාලාංශ පන්තියේ ඉන්නා කල මට ඉගැන්වූ සොයිසා මිස්ගේ පටන්, අද හවස මට වාහනය පසුපසට ගැනීමේදී ස්වේච්ඡාවෙන් උදව් කළ නාඳුනන මිනිසා දක්වා මගේ මේ කාලයේ හමුවූ බොහෝ මිනිසුන්ගේ සිනහව පිරුණු මුව මට අමතක නොවේ.
අප බොහෝ කාල පරිච්ඡේදයන් පසු කොට පැමිණ ඇත. පාර දෙපැත්තේ පිළිස්සුණු සිරුරු සමඟ ගිනිගත් රට, මුහුද ගොඩගැලූ රට මෙන්ම, උදෑසන ගෙදරින් පිටත් වූ මොහොතේ සිට නැවත පැමිණීම අවිනිශ්චිත වූ කාලයන්, හුස්ම ගැනීම පවා ගැටළුවක් වූ කලක් පවා අප පසු කොට ඇත්තෙමු. ඒ සියල්ල අතීතයයි.
පාර දිගේ...
මේ සියලු අත්දැකීම් සහ උගත් පාඩම් ඔස්සේ, ඉදිරි අභියෝග ඉතිරි කාලය තුළදී තවදුරටත් ශක්තිමත්ව ඇවිද යාමට අවශ්‍ය උත්සාහය, ධෛර්යය මෙන්ම නිවැරදි මාර්ගයන්ද ලැබෙනු ඇතැයි සිතමි.
නිහඬතාවය රජයන රාත්‍රියක, අවට ඇති අඳුර සහ ආලෝකය මධ්‍යයේ සිතට ගලා ආ සාගරයක් හා විශාල වූ නොනවතින හැඟුම් සමුදායකින් ඉතා කුඩා කොටසක් පරිගණකය ඔස්සේ මෙලෙස අකුරු කොට නිම කරමි. අද උදෑසන සිට සිතට ගලා ආ සියලු දේ සම්බන්ධයෙන් යම් තරමකට හෝ සාධාරණයක් කරන්නට ඇතැයි සිතමි.
එළෙසම, මා ඉපදුන විට මට නම් තැබූ ආතා (අම්මාගේ තාත්තා) සිතූ පරිදිම ඉදිරියටත් සිනහවෙන්ම සිටින්නට වෙර ගනිමි.