අවුරුද්දට රටම සූදානම් වෙන පරිසරයක නගර වල තියෙන අසාමාන්‍ය වාහන තදබදය මග හැරලා මාතර ඉඳලා කොළඹ ගිහින් නැවත එනවා කියන්නෙ එක අතකින් වාසනාවක්. පාර පනින්න බැරි තරමට පාරෙ වාහන පිරිලා තියෙන තදබදය අද ඒ තරමටම තිබුනෙ නැහැ. සමහර විට ඒ අය අද ගමේ ගිහින් ඇති.
පෝය කියලා වෙනසක් නැතිව හැම තැනකම කඩ ටික නම් විවෘතව තිබුණා. ඊටත් වඩා පදික වේදිකාවේ තාවකාලික කඩ පෙල කලබලකාරී ගනුදෙනුකරුවන්ගෙන් පිරී දිලිසි දිලිසි තිබුණා. බැංකු ටෙලර් යන්ත්‍ර ලඟ පෝලිම්. වැඩියෙන්ම කලබලකාරී වුන තැන් ටික නම් අද වහලා. පාරෙ ඉන්න හැමෝටම තිබුනේ හදිසියක්. ඒ අතර සුදු ඇඳගත් උවැසියොත් අතරින් පතර හිටියා. නොනවතින ගමනක තවත් කොටසක්.
රාත්‍රිය එළඹිලා නැවත එන්න පිටත් වු කළ තම විදුලි පහන් එලිය අඩු කර ධාවනය කරන්නට තරම් වත් වෙලාවක් නැති වූ රියැදුරන් පිරිසක් මුහුණට මුහුණ මුණ ගැසුනු හේතුවෙන් යම් අපහසුතාවක් සිතේ දරාගෙන නිදිමත යටපත් වුනා මොහොතකට.
වලාකුළු රහිත ලා නිල් අහසක් එක පැත්තකින් සඳ එළිය ලබා දෙද්දී අනිත් පැත්තෙන් වැහි වළාකුල් පොඩි පොඩි වැසි ලබා දුන්නෙ ගමන් විඩාව නිවා ගමනාන්තය දක්වා අපව සුරක්ෂිතව කැඳවා ගෙන යන්නට. එක පැත්තකින් සඳ රවුම් වෙලා තියෙද්දි අනිත් පැත්තේ කළු කල අහසේ විදුලි එළි ගමන් කරනවා
නිල් වන් අහසෙ පුළුන් ගොඩක් වන් වළාකුළු මඳ සුළඟේ හෙමින් පාවි පාවි යද්දි ඒවායෙ තමයි දෙවියො ගමන් කරන්නෙ කියල තමයි පොඩි කාලෙ හිතුවෙ. පන්සල් වල ඇඳලා තියෙන සිතුවම් වල හිටපු දෙවියො එහෙම ඉඳන් තමයි වැඳගෙන හිටියෙ. හිටපු ගමන් ඒ වළාකුළු කළු වෙලා වැස්ස සමග විදුලි කොටලා ගම් බිම් ගහ කොල මිනිස්සු විනාස කරලා දාන්නෙ ඒ දෙවියොම කෝප වෙලාද කියලා මට ඒ දවස් වලත් තේරුම් ගන්න බැරි වුණා. ඒ වුණත් ඒ නිල්වන් අහස බලාගෙන කල්පනා කරන කොට හිතට දැණුනු සනීපය කොච්චරක් උපමා උපමේය ගෙනාවත් ඒකට සම කරලා පෙන්නන්න බැහැ අදටත්.
වික්ටර් කියන සිහිල් සුලං රැල්ලේ සිංදුවට දුම්රිය ගමනක් ඈඳලා රූපවාහිනියෙන් කරපු රූප රචනාව අදටත් ඒ සිංදුව ඇහෙන කොට අපි කණ්ඩායම ඒ දවස් වල ගිය චාරිකාවන් හිතේ මැවෙනව වගේ රෝහණගෙ මුතුකුඩ ඉහලන මල් වරුසාවට තෙමී තෙමී ලබන මතකයන් සමග මහ වරුසාවට පසුව නැගෙන සඳ ගැන සෝමතිලක ජයමහ කියනවා වගේ මමත් පාරෙ එන ගමන් අර පේන වළාකුල් වැස්ස සහ සඳ එළිය අතර සක්මන් කලා සිතින් මොහොතකට. සමහර විට අහසෙ ඇතිවන විදුලි කෙටීමක් වගේ.
මුළු රටක්ම එක වෙලාවක නැකතට වැඩ අල්ලා කිරිබත් කන දවසක අම්මා උපන් දිනය සමරනවා. ඒ දිනේට දෙපැත්තට වෙන්න දවස් දෙකක පුතාත් දුවත් උපන් දිනය සමරනවා. මල්ලිගෙත් උපන් දිනය ඒ කිට්ටුවකම තියෙනවා. ඉතින් බක් මාසෙ සැප්තැම්බරය වගේම මට විශේෂයි.
තාත්තා සමග කොලඹ ගමනත් වෑරදුනේ නැහැ අප්‍රේල් අවුරුද්දට කලින්. දීර්ඝ පාසල් නිවාඩුවකුත් ලැබුණු ඒ කාලෙ අවුරුදු වලින් පස්සෙ එළඹුනේ ගාළු ගමන. කෝච්චියෙ හරි බස් එකේ හිටගෙන හරි ඒ ගමන වැරදුනේ නැහැ. ගිහින් එන්නෙ ඉස්කෝලෙ පටන් ගන්න දවසකට දෙකකට කලින්.
දිගු පෝලිම්
තදබද වූ ජනතාව
ලංගම
දුම්රිය
මගදී අසනීප වෙනවට බෙහෙත්
ලැබෙන පොත් තෑගි…මේ දේවල් අමතක කරන්නෙ කොහොමද
ඉස්සරනම් කජු සහ පුහුලම් කන්න ලැබුනා ඇති තරම් මේ කාලෙට ඒ වගෙම අකුණු ගහන්නෙ නැත්නම් මම තවත් කැමතියි. පස්සෙ කාලෙක අවුරුදු ස්පෙෂල් හින්දි චිත්‍රපටි ඇවිල්ලා සාලේ මැද අරක් ගත්තට කළු සුදු ටීවී එකේ බලපු බක්මහ දීගේ චිත්‍රපටියෙ කොටස් මේ අතරට එකතු කරන්නත් ඕනෙ නැත්නම් ඒක අඩුවක් වේවි. අනිත් එක රේඩියෝවෙ රටවටා අවුරුදු වචන වලින් හිතේ මැවූ සිත්තම්. ඒ පුරුද්දට මම තාමත් අවුරුදු වෙලාවට ටීවී එකේ සද්දෙ අඩු කරලා තවමත් අහන්නෙ රේඩියෝ. දැන් එෆ් එම් කිචි බිචි වුනාට ඒ දවස් වල නම් “රේඩියෝ සිලෝන්!”
වැරැද්දක් වුනොත් සමාව ගන්නවා “සිදුවූ ප්‍රමාද දෝෂයට” මධ්‍යම තරංග වලින්.
මෙහෙම කාලය ගෙවී ගිහින් හෙට අනිද්දා පහු වෙන කොට අවුරුදුත් ඉවර වෙලා ගමේ ගිය අයත් ආයෙමත් ඇවිත් බක්මහ අකුණුත් මැකිලා යයි සමහර විට. මගෙ හිතත් එදිනෙදා කටයුතු සමග කාර්‍ය බහුල වේවි. අපි අපිවම නැවත නැවතත් මුණ ගැසේවි හෙට දිනයෙත්.
No comments:
Post a Comment