Sunday, August 16, 2020

...දවසක හමු වෙමු හමු වී හිනැහෙමු හිනැහී වැළපෙමු අපි ආයේ…

මුව ළඟට පිරි තිබූ වීදුරු කෙමෙන් කෙමෙන් හිස්ව යද්දී..


පැහැදිලිව තිබූ වීදුරු ජනේල මත සිහින් මීදුම පතිතව අවට දසුන් බොඳ වෙද්දී…


නිහඬව තිබූ පරිසරයේ එතෙක් නිසලව තිබූ මිනිස් රූ සංගීත නාදරටා සමග ඒකාත්මික වෙද්දී මට දැනුනේ මහත් තනි කමක්. 


ඒ කුමක් නිසාදැයි නිශ්චිත වශයෙන් ම නොදැනුනත් මගේ සිත, ගෙදර සුවසේ මව සමග නිදනවා ඇතැයි මා සිතූ පුතු සහ දියණිය හරහා අතීතයට පලා ගිය බව පමණක් කිව හැකියි. 


වාදනය වන විවිධ ගීත තුළින් සිතට නැගුනා වූ මතකයන් එකිනෙක ගැටෙද්දි මම බලා සිටියා නොපෙනෙන මානයක් වෙත. හෙට මම කොතැනක හිඳීවිද.. කුමක් කවදා කෙලෙසක සිදු වේවිද.. 


ගණන් කළ නොහැකි සිතුවිලි ප්‍රමාණයක් මසිත වෙලා ගෙන. සිනා හඬ ගීත ගායනා කරන හඬ පරයා මගේ සිත වෙනත් දිශාවකට ගමන් කරනවා. ඒ මොහොතේ සියළු වැඩ නවතා ඉක්මණින් කළ යුතු යැයි මගේ සිත වද දුන් කාරණය, මම මෙලෙස සටහන් කළා අසම්පූර්ණ වචන කීපයක. 


සිතට නැගුණු ඒ කරුණු සියල්ලම මෙලෙස වචන ලෙස ගලපා එම සිතුවිලි වෙත සාධාරණයක් ඉටු කළාදැයි කීමට මම නොදන්නෙමි. මේ රාත්‍රී යාමයේ ඇසූ සහ සිතින් මිමිනූ එක් ගීත කොටසක් පමණක් සටහන් කොට මේ වචන කීපයට තිත තබමි. 


සුභ රාත්‍රියක්..!


...දවසක හමු වෙමු

හමු වී හිනැහෙමු

හිනැහී වැළපෙමු 

අපි ආයේ…


හසිත එරන්ද පෙරේරා

16-06-2020



Thursday, May 7, 2020

රෑ මැදියම අවදි වෙලා...

අවුරුදු නොනගතේ වගේම තමයි මේ දවස් ටිකේම. පාරේ වාහන නැහැ මිනිස්සු නැහැ. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් මාසෙකටත් වෙන්න ලඟයි කාලය ඉගිල ගිහිල්ලා. ඉබි ගමනේ යන සෙනග පුරවා ගත් බස්, රේස් යන ස්කූටර, එහෙන් මෙහෙන් රිංගන ත්‍රී රෝද රථ, එකක් පස්සේ තව එකක් යන කාර් වෑන්, මේ හැමෝගෙම සද්දය පරදමින් පැතිරෙන නලා හඩ මේ මුකුත් දැන් නම් නැහැ. රටේම ළමයි ටික ඇදෙන නානාප්‍රකාර පංති ටික වැහිලා නිසා පදික වේදිකා වලත් තදබදයක්  නැහැ. 


දිවා කාලයේ දැනෙන පාළුව තනිකම තවත් තීව්‍ර වෙනවා රාත්‍රී අඳුර ගලා ඒමත් සමඟ. නිතර කාර්ය බහුල මිනිසුන් දැක පුරුදු අපි කොරෝනාවත් සමඟම දැන් ටික ටික ගෙදරට සීමා වූ නිශ්ශබ්ද ජීවිතයකට හුරු වෙලා. 


රාත්‍රියේ නිහඬතාව මැද්දෙන් පැහැදිලිව හෝ ගා ඇසෙන මුහුදු රල බිඳෙන හඬ වෙනදා එලෙස ඇසුණු බවක් නම් මට මතකයක් නැහැ. අන්ධකාරය තවත් වැඩි වෙලා තියෙන්නේ වැහි අඳුරත් එක්කම. ටික දවසකට පෙර තිබුණු පැහැදිලි නිල්වන් අහස සහ අධික උණුසුම වෙනුවට අඳුරු අහස් ගැබ සහ මඳ සිසිලස එකතු වෙලා. මේ සියල්ල පරදමින් විටෙක නැගෙන අහස ගුගුරණ ශබ්දය අවට පරිසරයේ ගුප්ත බවත් අන්ධකාරයත් තවත් වැඩි කලා. 


මේ පරිසරය, මගේ හිත ඈත අතීතයට ගෙන යනවා. එක් දහස් නවසිය අසූ ගණන් වල, මා කුඩා කල එක්තරා සවසක ආච්චිත් සමග ඇගේ නිවසට පැමිණෙද්දී අතරමග හදිසියේ කඩා පහත් වූ මුරුගසං වර්ෂාව නිසා තෙතබරිව, ගිගිරීම් නිසා මහත් සේ බියට පත්ව, විදුලිය විසන්ධි වී අඳුරේ තිබූ නිවසේ කොනකට වී වැසි ජලය ගලනයුරු බලමින්, ඒ මහා වතුරෙන් අප සියල්ල යටවේදෝ හටගත් භීතියෙන්, අම්මාත් මල්ලීත් කුමක් කරනවා ඇත්දැයි  සිතමින් කල් ගෙවූ මොහොතක් මට නැවතත් මතක් වුනා. ඊට පෙර හෝ පසු සිද්ධි කිසිවක් මාගේ මතකයේ නැතත් මතක් වූ විට සිත සසල කරවන ඒ අඳුරු මොහොත මට නැවතත් සිතුවමක් සේ මතකයට නැඟුණේ ගීගිරීම් ශබ්දයට බියෙන් මා අසලට පැමිණි දරු දෙදෙනා හේතුවෙන්. 


කාලය ගත වී ලොකු මහත්ව උසස් පෙළ හදාරන කාලයේ සිතේ තැන්පත් වූ තවත් මතකයක් සිහියට නැගුණේ අනවසරයෙන් ඇසුණු මුහුදේ ශබ්දය නිසාවෙන්. ඒ වසර 90' ගණන් වල. රාත්‍රියේ නිශ්ශබ්දතාවය මැදින් දිනපතා පාහේ ඇසුණු රාත්‍රී අවසන් දුම්රියේ හඬ, කිලෝ මීටර ගණනාවක් ඈතින් තිබුණු අප නිවසට ඇසුනා. පානදුර දුම්රිය ස්ථානය පසුකර අලුත්ගම බලා දිවෙන පැරණි බලවේග කට්ටලයේ ඊටම ආවේණික හඬ, අතරින් පතර ඇසෙන එන්ජිමේ හඬ අඩු වැඩි වීම් මම කාලයක් තිස්සේ සිතින් නිරීක්ෂණය කලා. දුම්රිය ඒ ප්‍රදේශය පසුකර ගිය පසු මනසින් ද එය මා තනි කර ගිය පසු නැවතත් නිශ්ශබ්දතාවය රජ කලා. පසු කලෙක රේඩියෝවට සිත් බැඳීම හේතුවෙන් දුම්රියේ හඬ මතකයෙන් ගිලිහී ගියත් එම හඬ ඔස්සේ මතක පොතේ ලියවුණු "නිශ්ශබ්දතාවය" වෙත ඇහුම් කන් දීම සඳහා තිබූ උනන්දුව නැවතත් මතු වුණා මුහුදේ හෝ හඬ මධ්‍යයේ. 


මේ ගතකල ජීවිතයේ මතකයේ මටම පමණක් අමරණීය වූ සටහන් මෙලෙස අකුරු කරන්නට උත්සාහ කලත් ඒ සමහර මතකයන් දැන් මඳින් මඳ දුරස් වෙමින් පවතිනවා. ඒ කාලයත් සමග අළුත් දෑ මනසට එකතු වන නිසා හෝ මතකයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හෝ වෙන්නට ඇති. වර්තමානයේ හිතට දැනෙන හා අතීතයේ සිතට දැනුනු සංවේදී සිද්ධීන් හේතුවෙන් හදිසියේ හෝ මෙලෙස උඩට පාවී එන අතිශයින්ම පෞද්ගලික වූ, එනම් මා පමණක් සම්බන්ධ පැරණි සිදුවීම් මා දකින්නේ අතීතය නැවතත් අලුත් වීමක් ලෙස. එකම සිදුවීම් නැවත නැවතත් එලෙසම හෝ ඊට සමානව සිදුවෙමින් පවතිනවා. එකම වෙනස කාලය ගතවීත් පෘථිවිය තම අක්ෂය ඔස්සේ තවමත් එක සේ කැරකෙමින් පැවතීම පමණක්ද. 


සුභ රාත්‍රියක්


හසිත එරන්ද පෙරේරා 

අප්‍රේල් මස 12වැනි ඉරිදා, 2020

Tuesday, January 14, 2020

බලු සෙනෙහස

බල්ලන් සමග මගේ තිබුණේ සාමකාමී ඇයි හොඳයියක් පමණී. පාරේ ගමන් කරන අවස්ථාවක මගදිගට හමුවන බලු ඇත්තෝ විකම්දෝ බුරම්දෝ කියා මා දෙස බලා සිටින අවස්ථා වල ඔලුව පහත් කොට යටහත් පහත්ව මම උන් පසු වන තුරු ප්‍රවේසමෙන් ගමන් කරන්නෙමි. මා ඔවුන් දෙස බලා සිනාසෙන විට ඇස් වලින් රවා කට මඳක් විවර කර ගොරවා මට ආචාර කරන බලු නයිදේ ලාද නැතුව නොවේ. 


මා කුඩා සන්දියේ පොඩි බලු පැටියෙකු සුරතලයට ඇති කිරීමට ගත් උත්සාහය පාරේ ගමන් කළ වාහනයක් නිසා සුන් වී ගිය පසු කවදාවත්ම ඒ අරමුණ කෙරෙහි නැවත සිත් යොමු නොකළෙමි. 


මා හිතමිත්‍ර ලක්මාල් තරුණ මහතා කුමක් හෝ බලු කතාවක් කරළියට එන විට මතකයට නැගෙන තවත් චරිතයක්. (එම වැදගත් සම්බන්ධතාව ලබා දුන් මා මිත්‍ර සමාගම තවම සිතන්නේ ඔහුට ලබාදුන් වටිනාම තෑග්ග එය බවයි)


මෙලෙසින් බලු කතා ලියන්නට මට සිදු වූයේ පහුගිය දවසක සිදූවූ කාරණයක් සම්බන්ධයෙන්. දොස්තර උපදෙස් පරිදි දවසට විනාඩි හතලිස් පහක් ඇවිදින්නට මට ලබා දුන් අණ පිළිපදින්න ගොස් සිදූවූ අකරතැබ්බය නැවත නැවතත් සිහියට එන බැවින්. 


දිනකට මාගේ විස්ථාපනය කිලෝ මීටර වලින් ගත් කල බර ගණනක් වූවත් බස් රථයේ බස් සිංදු අසමින් ගමන් කිරීම මගින් මගේ ශරීර සෞඛ්‍යයට මොනම ආකාරයක වත් සෙතක් ශාන්තියක් නොමැති බැවින් අලුත්ම සපත්තු දෙකකුත් සොයා ගෙන මම ඇවිදින්න පටන් ගත්තා ඔන්න,කාගේත් හිතා සුව පිණිස. 


මේ පළවෙනි දවස. හොඳට වටපිට බල බල ගියේ දන්න අඳුරන කෙනෙක් මුන ගැහුනොත් ඉක්මනින් එතනින් මාරු වෙනු පිණිස, නැත්නම් මට වෙන්නේ පාර අයිනට වෙලා ඔවුන් සමග කතා කර කර ඉන්න. 


ඔහොම ටික දුරක් ගියා කාගෙන් වත් අතුරු ආන්තරාවක්, බාධාවක් නැතුව. දැන් නගර සීමාව පහු වෙලා වෙල් යාය පේන දුර. කොලඹට කිරි අපට කැකිරි වගේ කලින් ළඟින් ළඟින් තිබුණු පහන් කණු ටිකින් ටික ඈත් වෙනවා. කෙමෙන් කෙමෙන් වැඩි වන කළුවර මැද මම බර අඩි තබමින් අත් දෙක වන වන යනවා මගේ ගමන. 


ඔන්න මගේ පළවෙනි මුන ගැසීම බලු ප්‍රාණයක් සමග. මොනවා වුනත් උගේ වැයික්කියේ මම ඉන්න හින්දා ඔලුව පාත් කරලා ආචාර කරලා මම මගේ ගමනේ ගියා. 

පොඩි දුරක් ගියා විතරයි මෙන්න කළු බලු තඩියෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟට පැන්නා. මම බොහොම බය වුනා, ඒ සිංදුව ආයෙම කියන්න පුළුවන් මට්ටමටම. මම ආයෙම බය වුණේ මේ 'යකා' මාව විකන්නේ නැතිව, අත් දෙකෙන් බදාගෙන මට ආදරේ පෙන්නන්න ගත්ත නිසා. ජීවිතේ මෙහෙම දෙයක් වුන පළවෙනි වතාව. අනිත් කතාව මම ඔය පාරේ පයින් ඇවිදින පළවැනි වතාව. මෙහෙම බල්ලෙක් මීට කලින් මුන ගැහිලත් නැහැ. බලු ආදරේ මට හුරු දෙයකුත් නෙවෙයි. මම ඉතින් ඇවිදින එක පැත්තකින් තියලා ඌ අල්ලන් හෙමිහිට ඔලුව අත ගාලා හෙමින් ටිකක් පැත්තකට කර ගත්තා. කවදා කාපු ටකරන් ද.  මේ තරම් ආදරයක්, ඒත් කොහේවත් ඉන්න බලු තඩියෙක්. මට හිතා ගන්නවත් බැහැ. ගමන බාධා වුණා. දැන් මගේ ආපසු ගමන නවාතැන බලා. මොනවා කළත් බල්ලා හොඳ එකා. මගේ පැත්තකින් මාත් එක්කම ගමන. පසු ගමන් පෙර ගමන් අනුග්‍රහය බලු තඩියා ගෙන්. ඔහොම ඔහොම ඇවිත් උගේ දේශ සීමා මායිම දක්වා ඌ මාව ගෙනත් ඇරළුවා. පසු නොබලා නවාතැනට ආපු ගමන් මම හොඳට දෙපාරක්ම අත් දෙක සබන් ගාලා සේදුවා නන්නාඳුනන බලු ආදරේ නිසා. කොයි එකටත් කියලා පින්තූර දෙක තුනක් ගත්තා බලු සෙනෙහස මතක් වෙන්න.


අවසන් වශයෙන්,. මේ සිදුවීම මා මවිතයට පත් කළා. බළලුන් සමග මිස බල්ලන් සමග ඇසුරක් නොමැති මට (ලක්මාල් මහතා සමාව භජනය කළ මැනව) මෙම අවස්ථාව මහ පුදුමාකාර දෙයක් වුණා. 


මීට පස්සේ කොහේ ගියත් කොහේදී දැක්කත් බලු පරම්පරාවේ උතුමන්ට ආචාර සමාචාර කර යා යුතු බව මගේ ටිකිරි මොලෙන් තේරුම් ගත්තා. තාප්පයක් දුටු ගමන් චිත්‍රයක් ඇත්දැයි විපරම් කොට බලන්නා සේ දැන් මම පාරේ ඉන්නා බලු මිතුරන් පරීක්ෂා කරමින් පුරුදු පරිදි අධික ශබ්දයෙන් ආණ්ඩුවෙන් නියම කළ සින්දු අසමින්  බස් රථයේම මගේ ගමන යනවා. 


ආයෙම රෑ තනියම ඇවිදින්න ගියේ නෑ.