බල්ලන් සමග මගේ තිබුණේ සාමකාමී ඇයි හොඳයියක් පමණී. පාරේ ගමන් කරන අවස්ථාවක මගදිගට හමුවන බලු ඇත්තෝ විකම්දෝ බුරම්දෝ කියා මා දෙස බලා සිටින අවස්ථා වල ඔලුව පහත් කොට යටහත් පහත්ව මම උන් පසු වන තුරු ප්‍රවේසමෙන් ගමන් කරන්නෙමි. මා ඔවුන් දෙස බලා සිනාසෙන විට ඇස් වලින් රවා කට මඳක් විවර කර ගොරවා මට ආචාර කරන බලු නයිදේ ලාද නැතුව නොවේ.
මා කුඩා සන්දියේ පොඩි බලු පැටියෙකු සුරතලයට ඇති කිරීමට ගත් උත්සාහය පාරේ ගමන් කළ වාහනයක් නිසා සුන් වී ගිය පසු කවදාවත්ම ඒ අරමුණ කෙරෙහි නැවත සිත් යොමු නොකළෙමි.
මා හිතමිත්‍ර ලක්මාල් තරුණ මහතා කුමක් හෝ බලු කතාවක් කරළියට එන විට මතකයට නැගෙන තවත් චරිතයක්. (එම වැදගත් සම්බන්ධතාව ලබා දුන් මා මිත්‍ර සමාගම තවම සිතන්නේ ඔහුට ලබාදුන් වටිනාම තෑග්ග එය බවයි)
මෙලෙසින් බලු කතා ලියන්නට මට සිදු වූයේ පහුගිය දවසක සිදූවූ කාරණයක් සම්බන්ධයෙන්. දොස්තර උපදෙස් පරිදි දවසට විනාඩි හතලිස් පහක් ඇවිදින්නට මට ලබා දුන් අණ පිළිපදින්න ගොස් සිදූවූ අකරතැබ්බය නැවත නැවතත් සිහියට එන බැවින්.
දිනකට මාගේ විස්ථාපනය කිලෝ මීටර වලින් ගත් කල බර ගණනක් වූවත් බස් රථයේ බස් සිංදු අසමින් ගමන් කිරීම මගින් මගේ ශරීර සෞඛ්‍යයට මොනම ආකාරයක වත් සෙතක් ශාන්තියක් නොමැති බැවින් අලුත්ම සපත්තු දෙකකුත් සොයා ගෙන මම ඇවිදින්න පටන් ගත්තා ඔන්න,කාගේත් හිතා සුව පිණිස.
මේ පළවෙනි දවස. හොඳට වටපිට බල බල ගියේ දන්න අඳුරන කෙනෙක් මුන ගැහුනොත් ඉක්මනින් එතනින් මාරු වෙනු පිණිස, නැත්නම් මට වෙන්නේ පාර අයිනට වෙලා ඔවුන් සමග කතා කර කර ඉන්න.
ඔහොම ටික දුරක් ගියා කාගෙන් වත් අතුරු ආන්තරාවක්, බාධාවක් නැතුව. දැන් නගර සීමාව පහු වෙලා වෙල් යාය පේන දුර. කොලඹට කිරි අපට කැකිරි වගේ කලින් ළඟින් ළඟින් තිබුණු පහන් කණු ටිකින් ටික ඈත් වෙනවා. කෙමෙන් කෙමෙන් වැඩි වන කළුවර මැද මම බර අඩි තබමින් අත් දෙක වන වන යනවා මගේ ගමන.
ඔන්න මගේ පළවෙනි මුන ගැසීම බලු ප්‍රාණයක් සමග. මොනවා වුනත් උගේ වැයික්කියේ මම ඉන්න හින්දා ඔලුව පාත් කරලා ආචාර කරලා මම මගේ ගමනේ ගියා.
පොඩි දුරක් ගියා විතරයි මෙන්න කළු බලු තඩියෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟට පැන්නා. මම බොහොම බය වුනා, ඒ සිංදුව ආයෙම කියන්න පුළුවන් මට්ටමටම. මම ආයෙම බය වුණේ මේ 'යකා' මාව විකන්නේ නැතිව, අත් දෙකෙන් බදාගෙන මට ආදරේ පෙන්නන්න ගත්ත නිසා. ජීවිතේ මෙහෙම දෙයක් වුන පළවෙනි වතාව. අනිත් කතාව මම ඔය පාරේ පයින් ඇවිදින පළවැනි වතාව. මෙහෙම බල්ලෙක් මීට කලින් මුන ගැහිලත් නැහැ. බලු ආදරේ මට හුරු දෙයකුත් නෙවෙයි. මම ඉතින් ඇවිදින එක පැත්තකින් තියලා ඌ අල්ලන් හෙමිහිට ඔලුව අත ගාලා හෙමින් ටිකක් පැත්තකට කර ගත්තා. කවදා කාපු ටකරන් ද. මේ තරම් ආදරයක්, ඒත් කොහේවත් ඉන්න බලු තඩියෙක්. මට හිතා ගන්නවත් බැහැ. ගමන බාධා වුණා. දැන් මගේ ආපසු ගමන නවාතැන බලා. මොනවා කළත් බල්ලා හොඳ එකා. මගේ පැත්තකින් මාත් එක්කම ගමන. පසු ගමන් පෙර ගමන් අනුග්‍රහය බලු තඩියා ගෙන්. ඔහොම ඔහොම ඇවිත් උගේ දේශ සීමා මායිම දක්වා ඌ මාව ගෙනත් ඇරළුවා. පසු නොබලා නවාතැනට ආපු ගමන් මම හොඳට දෙපාරක්ම අත් දෙක සබන් ගාලා සේදුවා නන්නාඳුනන බලු ආදරේ නිසා. කොයි එකටත් කියලා පින්තූර දෙක තුනක් ගත්තා බලු සෙනෙහස මතක් වෙන්න.
අවසන් වශයෙන්,. මේ සිදුවීම මා මවිතයට පත් කළා. බළලුන් සමග මිස බල්ලන් සමග ඇසුරක් නොමැති මට (ලක්මාල් මහතා සමාව භජනය කළ මැනව) මෙම අවස්ථාව මහ පුදුමාකාර දෙයක් වුණා.
මීට පස්සේ කොහේ ගියත් කොහේදී දැක්කත් බලු පරම්පරාවේ උතුමන්ට ආචාර සමාචාර කර යා යුතු බව මගේ ටිකිරි මොලෙන් තේරුම් ගත්තා. තාප්පයක් දුටු ගමන් චිත්‍රයක් ඇත්දැයි විපරම් කොට බලන්නා සේ දැන් මම පාරේ ඉන්නා බලු මිතුරන් පරීක්ෂා කරමින් පුරුදු පරිදි අධික ශබ්දයෙන් ආණ්ඩුවෙන් නියම කළ සින්දු අසමින් බස් රථයේම මගේ ගමන යනවා.
ආයෙම රෑ තනියම ඇවිදින්න ගියේ නෑ.