Thursday, May 7, 2020

රෑ මැදියම අවදි වෙලා...

අවුරුදු නොනගතේ වගේම තමයි මේ දවස් ටිකේම. පාරේ වාහන නැහැ මිනිස්සු නැහැ. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් මාසෙකටත් වෙන්න ලඟයි කාලය ඉගිල ගිහිල්ලා. ඉබි ගමනේ යන සෙනග පුරවා ගත් බස්, රේස් යන ස්කූටර, එහෙන් මෙහෙන් රිංගන ත්‍රී රෝද රථ, එකක් පස්සේ තව එකක් යන කාර් වෑන්, මේ හැමෝගෙම සද්දය පරදමින් පැතිරෙන නලා හඩ මේ මුකුත් දැන් නම් නැහැ. රටේම ළමයි ටික ඇදෙන නානාප්‍රකාර පංති ටික වැහිලා නිසා පදික වේදිකා වලත් තදබදයක්  නැහැ. 


දිවා කාලයේ දැනෙන පාළුව තනිකම තවත් තීව්‍ර වෙනවා රාත්‍රී අඳුර ගලා ඒමත් සමඟ. නිතර කාර්ය බහුල මිනිසුන් දැක පුරුදු අපි කොරෝනාවත් සමඟම දැන් ටික ටික ගෙදරට සීමා වූ නිශ්ශබ්ද ජීවිතයකට හුරු වෙලා. 


රාත්‍රියේ නිහඬතාව මැද්දෙන් පැහැදිලිව හෝ ගා ඇසෙන මුහුදු රල බිඳෙන හඬ වෙනදා එලෙස ඇසුණු බවක් නම් මට මතකයක් නැහැ. අන්ධකාරය තවත් වැඩි වෙලා තියෙන්නේ වැහි අඳුරත් එක්කම. ටික දවසකට පෙර තිබුණු පැහැදිලි නිල්වන් අහස සහ අධික උණුසුම වෙනුවට අඳුරු අහස් ගැබ සහ මඳ සිසිලස එකතු වෙලා. මේ සියල්ල පරදමින් විටෙක නැගෙන අහස ගුගුරණ ශබ්දය අවට පරිසරයේ ගුප්ත බවත් අන්ධකාරයත් තවත් වැඩි කලා. 


මේ පරිසරය, මගේ හිත ඈත අතීතයට ගෙන යනවා. එක් දහස් නවසිය අසූ ගණන් වල, මා කුඩා කල එක්තරා සවසක ආච්චිත් සමග ඇගේ නිවසට පැමිණෙද්දී අතරමග හදිසියේ කඩා පහත් වූ මුරුගසං වර්ෂාව නිසා තෙතබරිව, ගිගිරීම් නිසා මහත් සේ බියට පත්ව, විදුලිය විසන්ධි වී අඳුරේ තිබූ නිවසේ කොනකට වී වැසි ජලය ගලනයුරු බලමින්, ඒ මහා වතුරෙන් අප සියල්ල යටවේදෝ හටගත් භීතියෙන්, අම්මාත් මල්ලීත් කුමක් කරනවා ඇත්දැයි  සිතමින් කල් ගෙවූ මොහොතක් මට නැවතත් මතක් වුනා. ඊට පෙර හෝ පසු සිද්ධි කිසිවක් මාගේ මතකයේ නැතත් මතක් වූ විට සිත සසල කරවන ඒ අඳුරු මොහොත මට නැවතත් සිතුවමක් සේ මතකයට නැඟුණේ ගීගිරීම් ශබ්දයට බියෙන් මා අසලට පැමිණි දරු දෙදෙනා හේතුවෙන්. 


කාලය ගත වී ලොකු මහත්ව උසස් පෙළ හදාරන කාලයේ සිතේ තැන්පත් වූ තවත් මතකයක් සිහියට නැගුණේ අනවසරයෙන් ඇසුණු මුහුදේ ශබ්දය නිසාවෙන්. ඒ වසර 90' ගණන් වල. රාත්‍රියේ නිශ්ශබ්දතාවය මැදින් දිනපතා පාහේ ඇසුණු රාත්‍රී අවසන් දුම්රියේ හඬ, කිලෝ මීටර ගණනාවක් ඈතින් තිබුණු අප නිවසට ඇසුනා. පානදුර දුම්රිය ස්ථානය පසුකර අලුත්ගම බලා දිවෙන පැරණි බලවේග කට්ටලයේ ඊටම ආවේණික හඬ, අතරින් පතර ඇසෙන එන්ජිමේ හඬ අඩු වැඩි වීම් මම කාලයක් තිස්සේ සිතින් නිරීක්ෂණය කලා. දුම්රිය ඒ ප්‍රදේශය පසුකර ගිය පසු මනසින් ද එය මා තනි කර ගිය පසු නැවතත් නිශ්ශබ්දතාවය රජ කලා. පසු කලෙක රේඩියෝවට සිත් බැඳීම හේතුවෙන් දුම්රියේ හඬ මතකයෙන් ගිලිහී ගියත් එම හඬ ඔස්සේ මතක පොතේ ලියවුණු "නිශ්ශබ්දතාවය" වෙත ඇහුම් කන් දීම සඳහා තිබූ උනන්දුව නැවතත් මතු වුණා මුහුදේ හෝ හඬ මධ්‍යයේ. 


මේ ගතකල ජීවිතයේ මතකයේ මටම පමණක් අමරණීය වූ සටහන් මෙලෙස අකුරු කරන්නට උත්සාහ කලත් ඒ සමහර මතකයන් දැන් මඳින් මඳ දුරස් වෙමින් පවතිනවා. ඒ කාලයත් සමග අළුත් දෑ මනසට එකතු වන නිසා හෝ මතකයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හෝ වෙන්නට ඇති. වර්තමානයේ හිතට දැනෙන හා අතීතයේ සිතට දැනුනු සංවේදී සිද්ධීන් හේතුවෙන් හදිසියේ හෝ මෙලෙස උඩට පාවී එන අතිශයින්ම පෞද්ගලික වූ, එනම් මා පමණක් සම්බන්ධ පැරණි සිදුවීම් මා දකින්නේ අතීතය නැවතත් අලුත් වීමක් ලෙස. එකම සිදුවීම් නැවත නැවතත් එලෙසම හෝ ඊට සමානව සිදුවෙමින් පවතිනවා. එකම වෙනස කාලය ගතවීත් පෘථිවිය තම අක්ෂය ඔස්සේ තවමත් එක සේ කැරකෙමින් පැවතීම පමණක්ද. 


සුභ රාත්‍රියක්


හසිත එරන්ද පෙරේරා 

අප්‍රේල් මස 12වැනි ඉරිදා, 2020