නැවත හැරී බැලූවිට අප පසුකල ඒ කාලයන්හි අමතක නොවන සහ තවත් සමහර සොඳුරු අවස්ථා සිහියට නැගෙන්නේ ඒ අවස්ථාවන් ඡායාරූප ගත කොට සුරැකිව තබා ගත් හෙයිනි. පෞද්ගලික හෝ පොදු හෝ කරුණ නොසලකා "අතීතය පටිගත කළ" එම ඡායාරූප දෙස මඳක් අවධානය යොමු කල විට, සමහර අවස්ථාවන් වලදී මතකයට නොනැගෙන පැරණි මතකයන් පවා, යළි ජීවමාන වීම වළකාලනු නොහැක. (මා මේ ලියන අවස්ථාවේ සලකන්නේ ඡායාරූපයක ඇති ලස්සන හෝ සුන්දරත්වය හෝ නොව එහි ඇති පසුබිම් කතාව පමණි)
වසර 1980 ගණන් වල මුල් භාගයේ ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය මගින් පළ කළ යොවුන් ජනතා පත්‍රයේ පළවූ ඡායාරූප ගැනීමේ කලාව අළලා වූ ප්‍රසන්න හෙන්නායක මහතා විසින් රචිත විශේෂාංගය කියවීම හරහා ඇති වූ උනන්දුව, පාසලේ ඡායාරූප සංගමය හරහා හෑගොඩ සර්ගෙන් ලත් ඉගෙනුම හරහා යම් ප්‍රමාණයකට ඔප මට්ටම් ව ඒ පිළිබඳව අද මෙසේ අකුරු කරන්නට මට හැකි විය.
පටන් ගැන්මේ දී ඥාති හිත මිතුරන් ගෙන් ඉල්ලාගත් කැමරා වලින් පින්තූර ගත් මම 1998 වර්ෂයේ දී පුවත්පත් දැන්වීමක් අනුව කොහුවල දී ප්‍රසන්න හෙන්නායක මහතාගෙන් මාගේ මුල්ම Nikon FM10 වර්ගයේ SLR කැමරාව මිලදී ගත්තෙමි. පසුව එයට Vivitar zoom lens එකක්ද එකතු කොට යම් ආකාරයකට ඡායාරූප ගැනීම සඳහා සන්නද්ධ වූයෙමි. ලංකාවේ Kodak නියෝජිතයන් හරහා සේයා පටල වලට සහ ඡායාරූප මුද්‍රණය කිරීමේදී ලැබුණු වට්ටම් නිසා මගේ ඡායාරූප ගැනීමේ සහ මිතුරන්ගේ පිංතූර අරන් දීමේ සත්කාර එවක ජයටම සිදු වූවා. පසු කළෙක මගේ සහෝදරයා විසින් තෑගි කළ Canon S2IS digital කැමරාව හේතුවෙන් සහ එහි පහසුව හේතුවෙන් සේයා පටල ක්‍රම ක්‍රමයෙන් අමතක කොට Memory card මතට ඡායාරූප සටහන් වීම මාරු වුණා.
මෙසේ කාලය ධනය ශ්‍රමය වැය කරමින් එදා ගත් සමහර ඡායාරූප අද මා සතුව නැහැ. සේයා පටල භාවිතා කල කාලයේදී ගන්නා ලද බොහෝ ඡායාරූප සහ එම negative පට අද කාලය සමගම විනාශ වී ගොසින්. ඡායාරූපවලින් කොටසක් Scan කොට සංරක්ෂණය කරගැනීමට හැකි වූවත් විනාශ වුණු ඒ මතකයන් නැවත ගොඩ ගැනීමට නොහැක්කක්. ජීවිත ගමනේ කාලය ගත වෙද්දී වියැකෙන මතකය ඔස්සේ ඉදිරියේදී සමහර මතකයන් ඡායාරූප ඔස්සේ පමණක් මතකයට නැගේවි. ඡායාරූපයක් දුටු කල ඒ සමඟම මතකයට එන පසුබිම් කරුණු දැනට වඩා අඩු හෝ වැඩි හෝ වේවි.
මා සතුව නැතත් ඒ දින වල මුද්‍රණය කළා වූ සමහර පිටපත් මා හිත මිතුරන් සතුව පවතිනවා. මට වඩා ඔවුන් ඒවාට ඇළුම් කරන බව මට විස්වාසයක් පවතිනවා (අවාසනාවකට එම පිටපත් Scan කරගැනීම පිණිස ඉල්ලූ නමුදු ලැබුනේ අයහපත් ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් ඒවා දුටු විටෙක හෝ මා සිහි වන්නේ නම් එයද යහපති)
සේයා පටල යොදන කැමරා වලින් පසු ඩිජිටල් කැමරා සහ ජංගම දුරකථන කැමරා හරහා මේ වන විට විශාල ප්‍රමාණයක් ඡායාරූප එකතු කොට ඇත්තෙමි. මෑත කාලයේ දී ගන්නා ලද ඡායාරූප අන්තර්ජාලයේ සහ පරිගණක යන්ත්‍රවල ගබඩා කරගෙන සිටින නමුදු අනාගතයේ දී ඒවාට ද ලැබෙන ඉරණම කුමක්දැයි මා නොදනිමි. සමහරවිට මාගේ ජීවිතය සමගම ඒවා ද හිස් අවකාශයට එකතු වනු ඇත. අන්තර්ජාල අවකාශය පවතින තුරු තවත් සමහරක් රැඳී පවතිනු ඇත.
නමුදු එම ඡායාරූප අනාගතයේ යම් දිනයක, යම් හෙයකින් හෝ ඔබේ නෙත ගැටුනහොත් ඒවායේ පෙනී සිටින්නන් හට සහ එම ස්ථානයන්, එමෙන්ම ඒ පසුකල සොඳුරු අවස්ථා සියල්ල නැවත සිහියට එනු ඇත. එය සිතට නැගෙන සිතුවිල්ලෙන් හට ගන්නා වූ මන්දස්මිතයකින් හෝ ඇස් කෙවෙනි තෙත් කොට කඳුළකින් හෝ අවසන් විය හැක.
ඒ මා ලබන සතුටයි. ඒ මගේ කඳුළයි. ඒ මා ඔබ සමග බෙදා ගන්නා සංවේදනාවයි.
සුභ රාත්‍රියක්
හසිත එරන්ද පෙරේරා
2021 මැයි මස 3 වන දින
(මගේ ඡායාරූප ගැනීමේ ආශාවන් මුදුන්පත් කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් මට සහාය වූ සහ මාගේ ඉල්ලීම් සලකා විශ්වාසයෙන් යුතුව මට තමන්ගේ වටිනා කැමරාවන් ලබාදුන් සියලු දෙනාම කෘතඥතා පූර්වකව සිහිකරනවා.)