Thursday, March 13, 2025

අද මාර්තු මාසෙ 12 වැනිදා.

 අද මාර්තු මාසෙ 12 වැනිදා. 


කලකට පස්සෙ රාත්‍රියේ නිශ්ශබ්දතාව හොඳින්ම දැනෙන රැයක්. වෙලාව තවමත් රාත්‍රි දහය පසු වූවා පමණයි. ඉඳ හිට ඈතින් ගමන් කරන යතුරු පැදියක හඬ අතරින් පතර ඇසුණද වෙනදාට අතෝරක් නැතිව ඇසෙන වාහන හඬ දුම්‍ රිය හඬ ආදී කණට මිහිරි වූ සහ අමිහිරි වූ සියළු හඬ පරදා නිශ්ශබ්දතාව‍ය රජ කරන රාත්‍රියක්. සමහර විට හෙට පෝය දිනයක් වූ නිසාවෙන් සියළු දෙනා නගරය අතහැර ගම් රටවල් වෙත නිවාඩුව ගත කරන්නට ගොස් ඇති. පුද්ගලික පංති පැවැත්වීමක් නොවුවහොත් වෙනදාට ඉතාමත් කාර්‍ය් බහුල වූ නගරය හෙට තවත් පාළු ස්වභාවයක් ගනීවි. 


හැමදාමත් වගේ අවට පරිසරයේ ඇතිවෙන නිහඬතාව මගේ සිතට ගෙන එන්නේ අතීත සිදුවීම් චිත්‍රාවලියක්. එකිනෙකට සම්බන්ධ වූ සහ නොවූ සිදුවීම් පෙලක් සිතට නැගී නැවත තවත් සිදුවීමකට ඉඩදී යටව යන මොහොතක්. පසුගිය සති අන්තයේ අප පාසල් ආදි ශිෂ්‍ය සංවත්සර උත්සවයට සහභාගි වීමෙන් ලද උණුසුමත් ඒ ඔස්සේ පාසල් දිවියේ දිනපතා මුණ ගැසුණු මුහුණු වසර ගණනාවකට පසු නැවතත් මුණ ගැසීමත් එයට උත්ප්‍රේරකයක් වුනා. 


එදා පාසල් කල අප මිතුරු සමහරුන් අද ජීවතුන් අතර නැහැ. තවත් සමහරුන් පිලිබඳව කිසිම තොරතුරක් ඇත්තේම නැහැ. යම් යම් හේතු මත උත්සවයට නොපැමිණි අය කොහෙදී හෝ මුණ ගැසේවි. ඒත් මා පෙර කියූ කොටසට අදාල අය නැවත මුණ ගැසුනද ඔවුන් අඳුනා ගන්නට හැකි වේදෝයැයි මට සිතෙන්නේ නැහැ. කාලය බොහෝ දුර ගිහින්. මේ අප ගත කරන්නේ ජීවිතයේ අපට හිමි යම් කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක්. නගරය පාළු ස්වභාවයක් ගැනීම හා එය අතර යම් සමානකමක් ඇති දෝ කියා විටෙක සිතෙනවා. 


පසුගිය 2024 වසර අවසාන දිනයේ ගත කල පැය කිහිපයක් හරහා මා ලද අත්දැකීම මට ජීවිතයේ ලද යුතු බොහෝ පාඩම් ඉගැන්වූවා. මට මා එතරම් අගයක් නොවූවත් එය එලෙස නොවූ මා අසල ගැවසුණු දුක සැප විමසූ පිරිසක් සිටියා. ඔවුන්ගේ සමාගමය මට මා පසුවූ යම්කිසි අසීරු මොහොතක ඒ අපහසුතාවය මග හරවා යම් සුබවාදී චිත්ත රූප මැවීමට සමත් වුණා. මා ප්‍රිය බිරිඳ පද්මශිඛා මගේ සියළු දේ ඉවසා මා අසලම රැඳී සිටියා. අපගේ අනපේක්ශිත නොපැමිණීම මධ්‍යයේ පුත් හසල් ඔහුට හැකි ආකාරයෙන් අප නැති අඩුව පිරිමසාලීමට ඉදිරිපත් වුණා. ඒ ජීවිතයේ එක සංධිස්ථානයක් පසු කල දිනයක්. 


සති අන්තයේ හෝ නිවාඩු දින එළඹෙද්දී, දිගින් දිගට එලූ කලු පලසක් වන් වූ මාර්ගය ඔස්සේ විටෙක ඈතින් කලු සුදු අළු පැහැති වළාකුල් සුලඟේ පාවී යන, දහවල අප වෙත හෙලූ චණ්ඩ රශ්මිය හංගාගෙන බැසයන ඉර සමගින් රත් පැහැ ගත් ආකාසය වෙත කරන ගමනක් වන් වූ මගේ රථ ගමනේ නිමාව සටහන් වෙන්නේ කලබලකාරී නගරයක කොටසක මා එනතුරු මග බලා සිටින ඔවුන්ගේ සිනා සතුටු දෑස් මධ්‍යයයේ. ඔවුන්, ඒ දුවත් පුතාත් මගේ පැමිණීම බලා සිටින සේ මමත් මල්ලීත් යම් කලෙක මෙළෙසම බලා සිටියා මතකයි. කාලය, ප්‍රදේශය සහ පුද්ගලයන් වෙනස් වූවත් ඒ එකම සංසිද්ධියක්. සමහර දින වලදී එලෙස බලාගත් වනම සිට නින්දට වැටුණු අප පසුවදා අවදි වන්නේත් පෙරදා රාත්‍රියේ බලා සිටි බලාපොරොත්තු සහිත වූ සිතිවිල්ලෙන්ම. 


කාලය අප පසු කර ගියද වේගයෙන්, ලබන්නා වූ හෙට දිනයේ අප අතීතයට වඩා හොඳින් ඒ අත්දැකීම් ඔස්සේ දිවියට මුහුණ දිය යුතු වේ. දැන් පවතින නිහඬතාව තව පැය කිහිපයකින් මැකී යනු ඇත. ඈතින් ඇසෙන මුහුදු රළ බිඳෙන හඬ මැකී යනු ඇත. කුරුලු හඬින් ආරම්භ වී වාහන ශබ්ද ඇතුළු විවිධාකාර ශබ්දයන් ඔස්සේ දිනය පුරා නොනවතින ගමනක රිද්මය ඔබගේ ඇතුළු සිතට වද දෙනු ඇත. යම් කිසි අනාගතයක් දක්වා හෙටත් අප හමු වනු ඇත.