Sunday, August 16, 2020

...දවසක හමු වෙමු හමු වී හිනැහෙමු හිනැහී වැළපෙමු අපි ආයේ…

මුව ළඟට පිරි තිබූ වීදුරු කෙමෙන් කෙමෙන් හිස්ව යද්දී..


පැහැදිලිව තිබූ වීදුරු ජනේල මත සිහින් මීදුම පතිතව අවට දසුන් බොඳ වෙද්දී…


නිහඬව තිබූ පරිසරයේ එතෙක් නිසලව තිබූ මිනිස් රූ සංගීත නාදරටා සමග ඒකාත්මික වෙද්දී මට දැනුනේ මහත් තනි කමක්. 


ඒ කුමක් නිසාදැයි නිශ්චිත වශයෙන් ම නොදැනුනත් මගේ සිත, ගෙදර සුවසේ මව සමග නිදනවා ඇතැයි මා සිතූ පුතු සහ දියණිය හරහා අතීතයට පලා ගිය බව පමණක් කිව හැකියි. 


වාදනය වන විවිධ ගීත තුළින් සිතට නැගුනා වූ මතකයන් එකිනෙක ගැටෙද්දි මම බලා සිටියා නොපෙනෙන මානයක් වෙත. හෙට මම කොතැනක හිඳීවිද.. කුමක් කවදා කෙලෙසක සිදු වේවිද.. 


ගණන් කළ නොහැකි සිතුවිලි ප්‍රමාණයක් මසිත වෙලා ගෙන. සිනා හඬ ගීත ගායනා කරන හඬ පරයා මගේ සිත වෙනත් දිශාවකට ගමන් කරනවා. ඒ මොහොතේ සියළු වැඩ නවතා ඉක්මණින් කළ යුතු යැයි මගේ සිත වද දුන් කාරණය, මම මෙලෙස සටහන් කළා අසම්පූර්ණ වචන කීපයක. 


සිතට නැගුණු ඒ කරුණු සියල්ලම මෙලෙස වචන ලෙස ගලපා එම සිතුවිලි වෙත සාධාරණයක් ඉටු කළාදැයි කීමට මම නොදන්නෙමි. මේ රාත්‍රී යාමයේ ඇසූ සහ සිතින් මිමිනූ එක් ගීත කොටසක් පමණක් සටහන් කොට මේ වචන කීපයට තිත තබමි. 


සුභ රාත්‍රියක්..!


...දවසක හමු වෙමු

හමු වී හිනැහෙමු

හිනැහී වැළපෙමු 

අපි ආයේ…


හසිත එරන්ද පෙරේරා

16-06-2020



Thursday, May 7, 2020

රෑ මැදියම අවදි වෙලා...

අවුරුදු නොනගතේ වගේම තමයි මේ දවස් ටිකේම. පාරේ වාහන නැහැ මිනිස්සු නැහැ. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් මාසෙකටත් වෙන්න ලඟයි කාලය ඉගිල ගිහිල්ලා. ඉබි ගමනේ යන සෙනග පුරවා ගත් බස්, රේස් යන ස්කූටර, එහෙන් මෙහෙන් රිංගන ත්‍රී රෝද රථ, එකක් පස්සේ තව එකක් යන කාර් වෑන්, මේ හැමෝගෙම සද්දය පරදමින් පැතිරෙන නලා හඩ මේ මුකුත් දැන් නම් නැහැ. රටේම ළමයි ටික ඇදෙන නානාප්‍රකාර පංති ටික වැහිලා නිසා පදික වේදිකා වලත් තදබදයක්  නැහැ. 


දිවා කාලයේ දැනෙන පාළුව තනිකම තවත් තීව්‍ර වෙනවා රාත්‍රී අඳුර ගලා ඒමත් සමඟ. නිතර කාර්ය බහුල මිනිසුන් දැක පුරුදු අපි කොරෝනාවත් සමඟම දැන් ටික ටික ගෙදරට සීමා වූ නිශ්ශබ්ද ජීවිතයකට හුරු වෙලා. 


රාත්‍රියේ නිහඬතාව මැද්දෙන් පැහැදිලිව හෝ ගා ඇසෙන මුහුදු රල බිඳෙන හඬ වෙනදා එලෙස ඇසුණු බවක් නම් මට මතකයක් නැහැ. අන්ධකාරය තවත් වැඩි වෙලා තියෙන්නේ වැහි අඳුරත් එක්කම. ටික දවසකට පෙර තිබුණු පැහැදිලි නිල්වන් අහස සහ අධික උණුසුම වෙනුවට අඳුරු අහස් ගැබ සහ මඳ සිසිලස එකතු වෙලා. මේ සියල්ල පරදමින් විටෙක නැගෙන අහස ගුගුරණ ශබ්දය අවට පරිසරයේ ගුප්ත බවත් අන්ධකාරයත් තවත් වැඩි කලා. 


මේ පරිසරය, මගේ හිත ඈත අතීතයට ගෙන යනවා. එක් දහස් නවසිය අසූ ගණන් වල, මා කුඩා කල එක්තරා සවසක ආච්චිත් සමග ඇගේ නිවසට පැමිණෙද්දී අතරමග හදිසියේ කඩා පහත් වූ මුරුගසං වර්ෂාව නිසා තෙතබරිව, ගිගිරීම් නිසා මහත් සේ බියට පත්ව, විදුලිය විසන්ධි වී අඳුරේ තිබූ නිවසේ කොනකට වී වැසි ජලය ගලනයුරු බලමින්, ඒ මහා වතුරෙන් අප සියල්ල යටවේදෝ හටගත් භීතියෙන්, අම්මාත් මල්ලීත් කුමක් කරනවා ඇත්දැයි  සිතමින් කල් ගෙවූ මොහොතක් මට නැවතත් මතක් වුනා. ඊට පෙර හෝ පසු සිද්ධි කිසිවක් මාගේ මතකයේ නැතත් මතක් වූ විට සිත සසල කරවන ඒ අඳුරු මොහොත මට නැවතත් සිතුවමක් සේ මතකයට නැඟුණේ ගීගිරීම් ශබ්දයට බියෙන් මා අසලට පැමිණි දරු දෙදෙනා හේතුවෙන්. 


කාලය ගත වී ලොකු මහත්ව උසස් පෙළ හදාරන කාලයේ සිතේ තැන්පත් වූ තවත් මතකයක් සිහියට නැගුණේ අනවසරයෙන් ඇසුණු මුහුදේ ශබ්දය නිසාවෙන්. ඒ වසර 90' ගණන් වල. රාත්‍රියේ නිශ්ශබ්දතාවය මැදින් දිනපතා පාහේ ඇසුණු රාත්‍රී අවසන් දුම්රියේ හඬ, කිලෝ මීටර ගණනාවක් ඈතින් තිබුණු අප නිවසට ඇසුනා. පානදුර දුම්රිය ස්ථානය පසුකර අලුත්ගම බලා දිවෙන පැරණි බලවේග කට්ටලයේ ඊටම ආවේණික හඬ, අතරින් පතර ඇසෙන එන්ජිමේ හඬ අඩු වැඩි වීම් මම කාලයක් තිස්සේ සිතින් නිරීක්ෂණය කලා. දුම්රිය ඒ ප්‍රදේශය පසුකර ගිය පසු මනසින් ද එය මා තනි කර ගිය පසු නැවතත් නිශ්ශබ්දතාවය රජ කලා. පසු කලෙක රේඩියෝවට සිත් බැඳීම හේතුවෙන් දුම්රියේ හඬ මතකයෙන් ගිලිහී ගියත් එම හඬ ඔස්සේ මතක පොතේ ලියවුණු "නිශ්ශබ්දතාවය" වෙත ඇහුම් කන් දීම සඳහා තිබූ උනන්දුව නැවතත් මතු වුණා මුහුදේ හෝ හඬ මධ්‍යයේ. 


මේ ගතකල ජීවිතයේ මතකයේ මටම පමණක් අමරණීය වූ සටහන් මෙලෙස අකුරු කරන්නට උත්සාහ කලත් ඒ සමහර මතකයන් දැන් මඳින් මඳ දුරස් වෙමින් පවතිනවා. ඒ කාලයත් සමග අළුත් දෑ මනසට එකතු වන නිසා හෝ මතකයේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හෝ වෙන්නට ඇති. වර්තමානයේ හිතට දැනෙන හා අතීතයේ සිතට දැනුනු සංවේදී සිද්ධීන් හේතුවෙන් හදිසියේ හෝ මෙලෙස උඩට පාවී එන අතිශයින්ම පෞද්ගලික වූ, එනම් මා පමණක් සම්බන්ධ පැරණි සිදුවීම් මා දකින්නේ අතීතය නැවතත් අලුත් වීමක් ලෙස. එකම සිදුවීම් නැවත නැවතත් එලෙසම හෝ ඊට සමානව සිදුවෙමින් පවතිනවා. එකම වෙනස කාලය ගතවීත් පෘථිවිය තම අක්ෂය ඔස්සේ තවමත් එක සේ කැරකෙමින් පැවතීම පමණක්ද. 


සුභ රාත්‍රියක්


හසිත එරන්ද පෙරේරා 

අප්‍රේල් මස 12වැනි ඉරිදා, 2020

Tuesday, January 14, 2020

බලු සෙනෙහස

බල්ලන් සමග මගේ තිබුණේ සාමකාමී ඇයි හොඳයියක් පමණී. පාරේ ගමන් කරන අවස්ථාවක මගදිගට හමුවන බලු ඇත්තෝ විකම්දෝ බුරම්දෝ කියා මා දෙස බලා සිටින අවස්ථා වල ඔලුව පහත් කොට යටහත් පහත්ව මම උන් පසු වන තුරු ප්‍රවේසමෙන් ගමන් කරන්නෙමි. මා ඔවුන් දෙස බලා සිනාසෙන විට ඇස් වලින් රවා කට මඳක් විවර කර ගොරවා මට ආචාර කරන බලු නයිදේ ලාද නැතුව නොවේ. 


මා කුඩා සන්දියේ පොඩි බලු පැටියෙකු සුරතලයට ඇති කිරීමට ගත් උත්සාහය පාරේ ගමන් කළ වාහනයක් නිසා සුන් වී ගිය පසු කවදාවත්ම ඒ අරමුණ කෙරෙහි නැවත සිත් යොමු නොකළෙමි. 


මා හිතමිත්‍ර ලක්මාල් තරුණ මහතා කුමක් හෝ බලු කතාවක් කරළියට එන විට මතකයට නැගෙන තවත් චරිතයක්. (එම වැදගත් සම්බන්ධතාව ලබා දුන් මා මිත්‍ර සමාගම තවම සිතන්නේ ඔහුට ලබාදුන් වටිනාම තෑග්ග එය බවයි)


මෙලෙසින් බලු කතා ලියන්නට මට සිදු වූයේ පහුගිය දවසක සිදූවූ කාරණයක් සම්බන්ධයෙන්. දොස්තර උපදෙස් පරිදි දවසට විනාඩි හතලිස් පහක් ඇවිදින්නට මට ලබා දුන් අණ පිළිපදින්න ගොස් සිදූවූ අකරතැබ්බය නැවත නැවතත් සිහියට එන බැවින්. 


දිනකට මාගේ විස්ථාපනය කිලෝ මීටර වලින් ගත් කල බර ගණනක් වූවත් බස් රථයේ බස් සිංදු අසමින් ගමන් කිරීම මගින් මගේ ශරීර සෞඛ්‍යයට මොනම ආකාරයක වත් සෙතක් ශාන්තියක් නොමැති බැවින් අලුත්ම සපත්තු දෙකකුත් සොයා ගෙන මම ඇවිදින්න පටන් ගත්තා ඔන්න,කාගේත් හිතා සුව පිණිස. 


මේ පළවෙනි දවස. හොඳට වටපිට බල බල ගියේ දන්න අඳුරන කෙනෙක් මුන ගැහුනොත් ඉක්මනින් එතනින් මාරු වෙනු පිණිස, නැත්නම් මට වෙන්නේ පාර අයිනට වෙලා ඔවුන් සමග කතා කර කර ඉන්න. 


ඔහොම ටික දුරක් ගියා කාගෙන් වත් අතුරු ආන්තරාවක්, බාධාවක් නැතුව. දැන් නගර සීමාව පහු වෙලා වෙල් යාය පේන දුර. කොලඹට කිරි අපට කැකිරි වගේ කලින් ළඟින් ළඟින් තිබුණු පහන් කණු ටිකින් ටික ඈත් වෙනවා. කෙමෙන් කෙමෙන් වැඩි වන කළුවර මැද මම බර අඩි තබමින් අත් දෙක වන වන යනවා මගේ ගමන. 


ඔන්න මගේ පළවෙනි මුන ගැසීම බලු ප්‍රාණයක් සමග. මොනවා වුනත් උගේ වැයික්කියේ මම ඉන්න හින්දා ඔලුව පාත් කරලා ආචාර කරලා මම මගේ ගමනේ ගියා. 

පොඩි දුරක් ගියා විතරයි මෙන්න කළු බලු තඩියෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟට පැන්නා. මම බොහොම බය වුනා, ඒ සිංදුව ආයෙම කියන්න පුළුවන් මට්ටමටම. මම ආයෙම බය වුණේ මේ 'යකා' මාව විකන්නේ නැතිව, අත් දෙකෙන් බදාගෙන මට ආදරේ පෙන්නන්න ගත්ත නිසා. ජීවිතේ මෙහෙම දෙයක් වුන පළවෙනි වතාව. අනිත් කතාව මම ඔය පාරේ පයින් ඇවිදින පළවැනි වතාව. මෙහෙම බල්ලෙක් මීට කලින් මුන ගැහිලත් නැහැ. බලු ආදරේ මට හුරු දෙයකුත් නෙවෙයි. මම ඉතින් ඇවිදින එක පැත්තකින් තියලා ඌ අල්ලන් හෙමිහිට ඔලුව අත ගාලා හෙමින් ටිකක් පැත්තකට කර ගත්තා. කවදා කාපු ටකරන් ද.  මේ තරම් ආදරයක්, ඒත් කොහේවත් ඉන්න බලු තඩියෙක්. මට හිතා ගන්නවත් බැහැ. ගමන බාධා වුණා. දැන් මගේ ආපසු ගමන නවාතැන බලා. මොනවා කළත් බල්ලා හොඳ එකා. මගේ පැත්තකින් මාත් එක්කම ගමන. පසු ගමන් පෙර ගමන් අනුග්‍රහය බලු තඩියා ගෙන්. ඔහොම ඔහොම ඇවිත් උගේ දේශ සීමා මායිම දක්වා ඌ මාව ගෙනත් ඇරළුවා. පසු නොබලා නවාතැනට ආපු ගමන් මම හොඳට දෙපාරක්ම අත් දෙක සබන් ගාලා සේදුවා නන්නාඳුනන බලු ආදරේ නිසා. කොයි එකටත් කියලා පින්තූර දෙක තුනක් ගත්තා බලු සෙනෙහස මතක් වෙන්න.


අවසන් වශයෙන්,. මේ සිදුවීම මා මවිතයට පත් කළා. බළලුන් සමග මිස බල්ලන් සමග ඇසුරක් නොමැති මට (ලක්මාල් මහතා සමාව භජනය කළ මැනව) මෙම අවස්ථාව මහ පුදුමාකාර දෙයක් වුණා. 


මීට පස්සේ කොහේ ගියත් කොහේදී දැක්කත් බලු පරම්පරාවේ උතුමන්ට ආචාර සමාචාර කර යා යුතු බව මගේ ටිකිරි මොලෙන් තේරුම් ගත්තා. තාප්පයක් දුටු ගමන් චිත්‍රයක් ඇත්දැයි විපරම් කොට බලන්නා සේ දැන් මම පාරේ ඉන්නා බලු මිතුරන් පරීක්ෂා කරමින් පුරුදු පරිදි අධික ශබ්දයෙන් ආණ්ඩුවෙන් නියම කළ සින්දු අසමින්  බස් රථයේම මගේ ගමන යනවා. 


ආයෙම රෑ තනියම ඇවිදින්න ගියේ නෑ.


Friday, September 6, 2019

පුස්තකාල ගමන

මේ රෑ ජාමේ දත්ත අනුභව කරමින් කොම්පැණි පෝසත් කරන්නට මේකේ උඩට යටට යමින්  සිටි අතරේ දුටු පෝස්ට් එකක්. ඒකේ තිබුනේ අම්මා කෙනෙක් පුතාට කියවන්න සුදුසු පොත් වල නම් ඉල්ලලා. පුතා තමන් කියවපු පොත් වල නම් ලියලා පොතකුත් හදලා. 

ඉතින් මේ කියන්න හැදුවෙ පොඩි දවස් වල මං ගැන. එක දාස් නමසිය අසූ ගණන්  වල මුල් කාලේ මටත් තිබුණා ඔය වගේ ප්‍රශ්නයක්. ඒ දවස් වල පත්තර බලනවා. අහුවෙන අහුවෙන දේම කියවනවා. සීයාගේ බණ පොත් හැරුණු කොට ගෙදර තිබුන පොත් සියල්ලම කියවලා ඉවර වුනාට පස්සේ ඔහොම ඉන්න කොට දවසක් තාත්තා මාව එක්ක ගෙන ගියා තැනකට.

එතන නම තමයි තල්පිටිබද්ද උප කාර්යාලය, දැන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයිති. අපි කිව්වේ V.C. ඔෆිස් එක කියලා. එතැන කාර්යාලය පිටුපස තිබුණු පැරණි  ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය පුස්තකාලයට. ඇත්තටම පුස්තකාලය තිබුනේ කලින් පවත්වාගෙන ගිය විදුලි උපපොලේ. තාත්තා පළාත් පාලන සේවයේ හිටපු නිසා එම කාර්යාලයේ ඔහුගේ සමකාලීන මිත්‍රයින් අපි කවුදැයි කියා දැන හැඳින සිටියා. 

එතනට ගියාම මගේ වයස අහලා බලන කොට මට සාමාජිකත්වය ගන්න බැහැ. පොඩි වැඩියි. ඒ වෙනකොට කීවෙනි පන්තියේ හිටියද කියලා නම් මතකයක් නැහැ. ඉතින් තාත්තාගේ ඇඳුණුම් කම පාවිච්චි කරලා සාමාජිකත්වය තාත්තාටත් පොත් මටත් ගන්න පුළුවන් විදියට වැඩේ ලෑස්ති කරගත්තා. මම කලින් පුස්තකාල දැකලා තිබුණට පාවිච්චි කරලා තිබුණේ නැහැ. මේ පළමු අත්දැකීම. ඉඩකඩ අඩු වුණත් පොත් විශාල ප්‍රමාණයක් එහි තිබුණා. බැහැර ගෙන යාමට දෙන පොත් වගේම එහි සිට පරිහරණය කිරීම සඳහාත් පොත් තිබුණා. එකල පළකල සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සියල්ලම පාහේ එහි මේස වල ලී පටි වලින් තද කොට පාඨක පරිහරණය ට තබා තිබුණා. දිනමිණ ඩේලි නිව්ස් වැනි ලේක්හවුස් පත්තර සියල්ලම සහ නම් මතක නැති තවත් වාර සඟරා බොහෝ ගණනක් එහි තිබුණා. මේ සියල්ල ආරක්ෂා කරන්නට පුස්තකාලයාධිපතිනියක් එහි අරක් ගෙන සිටියා. සාමාජිකත්වය සඳහා කොළපාට කුඩා කාඩ්පත් දෙකක් මට ලැබුණා. හා හාපුරා කියා මා විසින් ලබා ගත් පොත් දෙකත් රැගෙන ඉක්මණින් ගෙදර ගියේ හැකි ඉක්මනින් කියවා නිමාකොට තවත් අලුත් පොත් දෙකක් වෙත මාරු වෙන්නට. කෙසේ හෝ දිවා කාලයේ මා නැවත ගොස් පොත් මාරුකර ගත්තා. කලක් ගතවන විට මල්ලිිත් පොත් කියවීමට හුරු වූ නිසා ගෙන එන පොත් ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. පොත් ගෙනයාමට අඬ දබර ඇති කරගත් අප දෙදෙනා පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයන් බවට නිතැතින්ම පත් වුණා. අප වාසය කල ගෙදර සහ අප නිතර රැඳෙන, අාච්චිලාගේ ගෙදර අතරමැද පිහිටා තිබූ නිසා පුස්තකාල ගමන අසිිරු එකක් වූයේ ද නැහැ. අම්මාට අනුව අප කළ එකම වරද වූයේ කියවන්නට ගත් පසු වේලාව ගත වීම අපගේ සිත් වලට විශේෂයෙන්ම ඔළුවට දැනෙන්නේ නැති වීමයි. මේ නිසා ආහාර පිසීම පමණක් නොව පිස අහවර වී අප දෙදෙනාටම කැවීමටත් අම්මාට සිදු වුණ වාර බොහෝයි. 

තාත්තා හඳුනන කෙනෙකුන් වූ පුස්තකාලයේ අධිපතීන් විසින් අපට "තහනම්" කළ නවකතා පොත් සහ බැහැර ගෙන යාමට නොදෙන පොත් හැරුණු කොට අප දෙදෙනා වැඩි කලක් යන්නට පෙර පුස්තකාලයේ ඇති සියලු පොත් කියවා අවසන් කොට තිබුණා. එයින් සමහර පොත් දෙතුන් වතාවක් කියවා තිබුණා. 

එක් වරක් "ග්‍රීම් කතා" පොත පාසලේදී නැතිකරගත් මම පොත ප්‍රමාද ගාස්තු සමගින්ම අලුත්ම පොතක් ලෙස නැවත පුස්තකාලයට බාර දුන්නා. 

පසු කලෙක වැඩීම දුර්වල වූවත් වසරින් වසර අලුතින් පොත් එකතු වෙමින්, අප ජිිවිත වලට මහා වෘක්ෂයක් වන් වූ මේ පුස්තකාලය එක් දහස් නවසිය අසූ ගණන් වල අග භාගයේදී ගිනිබත් ව අළු බවට පත් වුණා. 

නැවත එම පුස්තකාලය විවෘත වූවත් අප නැවතත් එහි ගියේ නැහැ. 

නැවත සිහි කරද්දී මිහිරි මතක ගෙනෙන අප කුඩා කල ගත කළ ජීවිතයේ සොඳුරු මතකයන් නැවතත් එලෙසම අපට ලැබෙන්නේත් නැහැ. 

මේ සියල්ල ලියවෙන්න හේතුව මා මුලින් කී අම්මාගේ ඉල්ලීම. එය මාගේ සිතේ පැලපදියම් ව අසම්පූර්ණ සටහනක් ලෙස නිදි වර්ජිතව මෙලෙස අකුරු බවට පරිවර්තනය වුණා. 

Sunday, September 9, 2018

සහෘද යාමය පසු සටහන්

බොහෝ දේ දකින්න ඉගෙන ගන්න ලැබුණ දිනයක්. උගත් පාඩම් කොමිසම් සභාව තමයි අන්තිමට. 

ඉඳගන්නට ආසනයක් තැනක් නැතුව වේගයෙන් ගමන් කරන බස් රථයක තම පියා සමග කිලෝමීටර් දහයක් හෝ පහළොවක් සිට ගෙන ගිය අවුරුදු තුනක හෝ හතරක කුඩා දරුවෙක් සහ එය දුටුවා නොදුටුවා සේ සිටින අප "සාමාන්‍ය මහජනතාව" මුලින්ම මුණ ගැසුණේ.

නෝනාගම හන්දියෙන් බැහැලා අඩිය උස්සන්න හම්බ වුනේ නෑ පොඩි සද්දයක් ඇහුනා පිටිපස්සෙන්. බලනකොට මම ආපු බස් එකේම ආපු සුදු ජෝඩුවක තරුණිය කාණුවේ වැටිලා. බස් නැවතුම අයිනෙන්ම තියෙන්නේ ආවරණයක් නැති කාණු පද්ධතියක්. බස් එකෙන් බැහැල කතාවෙන් කතාව උඩ බලාගෙන ගියොත් කෙලින්ම කාණුව.
ගිනි මද්දහනේ පිපාසය වැඩිකමට ම මම කඩේකින් බීම බෝතලයක් බීලා යන්න ඕන තැන පැත්තට හැරිලා සුබ මොහොතින් පාරට අඩිය තිබ්බා. ඒත් මොන පාර පැනිල්ලක්ද., වාහන යනවා යනවා ඉවරයක් නෑ. පාර පනින්න කෙනෙක් ඉන්නකොට නිකම්ම වාහනවල Accelerator එක වැඩ කරන එක ගැන කතාව ඇත්තක්. ඉතින් පැත්තකට වෙලා ටිකක් වෙලා හිටියා. එතකොට තමයි දැක්කේ මනුස්සයෙක් බස් රථයකින් බැස ගන්නවාත් ඒ සමගම ඔහුගේ හිස රැඳුණු තොප්පිය බිම වැටෙනවාත්. ඔහු ඒ දෙස බලා ගෙන හිස බිමට යොමා සිටිනවාත්. එහෙම සිටිද්දී බස් නැවතුමේ සිටි කුඩා දරුවකු පැමිණ එම තොප්පිය අසුලාගෙන ඔහුගේ හිස මත තැබුවා. එම පුද්ගලයාගේ දෑතම තිබුණේ නැහැ. ඒ වෙනුවට සුළඟට වැනෙන ඔහුගේ කමිසයේ අත් දෙක මා දුටුවා.

ඊළඟ සිදුවීම දකින්න ලැබුණේ මම ආපසු එන්න බස් නැවතුම ළඟට පැමිණ විටදී. එතැන හිටියා රැවුල සහ කොන්ඩය වැවුනු වයස්ගත ස්වාමීන් වහන්සේ නමක්. පාවහන් යුවලක් නොපැළඳ සිටියත් ජංගම දුරකතනයක් නම් ලඟ තියෙනවා දැක්කා. කොපමණ අත දැම්මත් පැමිණී බස් රථ වල තිරිංග ප්‍රශ්නයක් නිසාදෝ ඒ සියල්ලම නැවැත්වූයේ හාමුදුරුවෝ පසු කර ගෙන ගොස්. පට සිංගප්පූරු සිවුරු ඇඟ ලූ අසපුවාසී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා මෙන් දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා පෙනුමක් නොමැති වූයෙන් අව පැහැ ගත් පඬුවන් සිවුර විසින් නැවැත්වූයේ එක් ලංගම බසයක් පමණයි.

රජී වසන්ත වෙල්ගම සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල දෙපලගේ කතා වස්තු සියල්ලම අහන්න බැරි වුනත් ඒ හිටි ටිකට බොහෝ දේවල් දැන ගන්න ලැබුනා. එයිනුත් රසයන් පිලිබඳ කතාවත් "මේ තරම් සියුමැලි ද" ගීතයේ වර්තමානයේ තත්ත්වයත් වැදගත්. ශබ්ද පරිපාලනයේ ගැටළුවක් නොවේ නම් ඔවුන් දෙදෙනාගේම කටහඬ පැහැදිලිව අහන්න ලැබෙන්නට තිබුනා. 

අම්බලන්තොට, නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ‘සහෘද යාමය 2018’ වැඩසටහනට පැමිණෙන්නැයි මට ආරාධනා කල මොහාන් අලගියාවඩු (Mohan Oswald Alagiyawadu) තරුණ මහතාට පිං. ඔහු මහත් සේ මේ පිළිබඳව වෙහෙස මහන්සි වුනා. නොඅනුමානවම එහි සිටි යෞවනයන් මට වඩා දෙයක් ග්‍රහණය කරගන්නට ඇති. ඔවුන් නොදැන සිටි එකම කාරණාව ඔවුන්ගේ ජංගම දුරකථන තිර පිටුපස සිටි අපටද පෙනෙන බවයි.

අවසානයට, පාරක් තොටක් අහගන්නට කතා කලත් මේ වන තෙක් මගේ දුරකථන ඇමතුමට පිලිතුරක් ලබා නොදුන් සියළුම දෙනාත් ආදරයෙන් සිහිපත් කරමින් මුලින්  ඉතා වේගයෙන් ගියත් දැන් ජීවිතයම එපා වී ඉතා හෙමින් ඉබි ගමනේ යන රියැදුරුත් සිහි කරමින් හසිත පෙරේරා තවමත් බස් රථයේ සිට (BBC එල්මෝ ප්‍රනාන්දු ශෛලියෙන්)
[බස් රථයේ දී සිදු කල අකුරු කෙටීම තව දුරටත් සංස්කරණය කොට සරල සුගම හැඩයක් එකතු කිරීමට දහිරියක් ලබා දුන්නේ සහෘද මොහාන්.

මගේ අගක් මුලක් නැති කතාව කියවූ ඔබටත් ස්තූතියි ]

Wednesday, December 7, 2016

නැංඟුරම් ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න...





Vinyl පිස්සුව හොඳ කරන්න මේ තැටිය ලබා දුන් විජය රාමනායක මහතාට බොහොමත්ම ස්තුතියි.

අනෙකුත් Records ලබා දුන් මා මිතුරු මිතුරියන් ද ගෞරවයෙන් සිහිපත් කරමි.

අසනීප කතා

අසනීප වී දින ගණන් නිවසේ සිරවී කල් ගත කරනා කල මතකයට නැගුන ගීතයක් මේ.


ගී පද: මහින්ද දිසානායක

සංගීත නිර්මාණය: උපාලි ජයලත්

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ


රෝගී දෑසේ ඇස රඳවන්නට - ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද - ගිමන නිවී යන්නේ ........

සමීප සයනේ සාද තෙපුල් මැද - තැවිසිත සුවපත් වේ
තනිකම දැවටී දෑසේ දෑලින් - උණු කඳුලැලි වෑහේ ........

ජීවක දෑතේ පහස ලැබූවත් - සුව නැහැ ලං වෙන්නේ
එපා කිසිත් වෙන දෑස පතන ඔබෙ - රුව බෙහෙතක් වැන්නේ .........