තිස්සමහාරාමයේ සේවය කල, පසුගිය දිනෙක රාත්‍රියේ වෑඩ හමාර ව පැමිණ රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට විවේකයක් ගන්නා වෙලාවක. ඒ එක් එක් නාලිකා මතින් බලන්නට සුදුසු යමක් සොයමින් ‘ගතකල’ කාලයක්. කොතරම් දේවල් තිබුනත් මට ගැලපෙන බලන්නට සුදුසු යමක් සොයා ගැනීම වරුවක් තරම් කාලයක් ගතවන ක්‍රියාවලියක්. ඒ මොහොතට ගැලපෙන යමක් සොයා මම තවත් වෙලාව වැය කරමින් සිටියේ.
මෙහෙම යද්දි මට සිංහල කළු සුදු චිත්‍රපටයක් තිරයේ දිස් වුනා. එහි තිබූ වාර්තාමය ගතිය නිසා චැනලය මාරු කරන්නට සූදානම් වෙද්දී එක වරම පැරණි කොළඹ නගරයේ රූප රාමු පෙලක් පෙනෙන්න්ට පටන් ගත්තා. රූපරාමු ගෝල්ෆේස් පිටිය පසු කොට කොටුව පැත්තට යද්දී වට රවුම පසුකොට මුහුදු වෙරල ඔස්සේ ඇති පාරත් ඈතින් පෙනෙන වරාය චෛත්‍යයත් මගෙ මනස ගෙන ගියා පැරණි මතකයක් වෙත. එම චෛත්‍යයත් එය වෙත ඇතුල් වීමට ඇති පඩි පෙලත් සමග බැඳුණු ඒ මොහොත මට මගේ තාත්තා සමග අතීතයේ පෙබරවාරි 4 වැනිදා, නිදහස් දිනයෙක කොළඹ ගිය ගමනක් මතක් කලා.
උදෑසන අවදිව තාත්තා සමග ඒ ගිය ගමන සම්බන්ධයෙන් සිදුවූ සියල්ල මතක නැතත්. සමහර දේවල් හොඳින් මතකයේ තියෙනවා. මල්ලී පොඩි නිසා ඔහුව එක්ක ගියේ නැහැ. පානදුර බස් නැවතුම්පලින් පිටකොටුව ලංගම බස් රථයක නැගී කවුළුවක් අසල ආසනයක වාඩි වී වට පිට බලමින් ගිය ගමන සහ ඊට පසුව මොහොතක ගාළු මුවදොර අසලින් බැස පයින් ගමන් කොට චෛත්‍යය පාර ඔස්සේ පාර දෙපස තිබූ පැරණි කොටුවේ මං සලකුණු ඔස්සේ අප දෙදෙනා අව්වෙ පයින්ම එතැනට ගියා. ඒ දිනවල කොළඹ මොරිස් මයිනර් මීටර් ටැක්සි තිබුණු කාලෙ.
චෛත්‍යය වෙත ඉහලට නැගීමට ඉදිකොට තිබූ පඩි පෙල ඔස්සේ ගමන් කොට අවට නැරඹූ බව මතකයේ තියෙනවා. ඊට පසු හෝ ඉහලට නගිද්දී තාත්තා මට ඇස් වසා ගැනීමට කියා ඉහලට ගමන් කල බවත් සුළු මොහොතකට පසු ඇස්පිය හරිද්දී ඔහු ඉහලින් නොව පහලින් මතු වූ බහත් මට මතකයි. මා මවිත කරන්නට ඔහු කුමක් හෝ දෙයක් කල බවත් ඉහලට ගිය ඔහු පහල තට්ටුවෙන් මතුවූ බවත් මට මහත් ප්‍රහේලිකාවක් වුනා. ගමන් වෙහෙසත් අව්වේ ගමන් කොට ඇති වූ පිපාසයත් පඩි නැගීමෙන් ඇති වූ හතියත් අමතක කරන්නට මට ඒ මොහොත මහත් අස්වැසීල්ලක් වුනා. හවස් යාමය දක්වා එදා ඒ ගමන යෙදී තිබුනේ අවසානයට පියකොටුව දක්වා ඇවිද ගොස්. අම්මාටත් මල්ලීටත් පිටකොටුවෙන් මොනවා හෝ ගත් බව මතකයේ තිබුනද ඒ මොනවාදැයි නම් මතක නැහැ
අසූව දශකය ආරම්භ වන විටම අප පවුලට උදාවුනේ සුබ තත්ත්වයක් නෙවෙයි. තාත්තා දේශපාලන කටයුතු වල නොයෙදුනත් පසුව ඔහු අයත් වූයේ අසූව වැඩ වර්ජකයන්ගේ සංගමයට. 1994 වසර දක්වා ඔහු ඒ දුක වින්දා. ජීවිතේ හොඳම කාලයේ තම රැකියාව අහිමිව සිටින්නට ඔහුට සිදුවුනා. දේශපාලන ගැත්තන් පසුපස නොගිය ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් සොයා ගත්තා. එයට ඔහුගේ මිතුරෙකු උදව් කලා. අප කුඩා කල විඳි දුක් ගැහැට කොපමණ අල්ප වූවද අපට ඒ කරදර පවා නොදැනෙන්නට අම්මාත් තාත්තාත් විඳි දුක් ගැහැට දන්නේ ඔවුන් පමණයි.
මා යම් කලෙක රැකියාවක් ලැබ ඔවුන්ගේ ජීවිත ගමනට ශක්තියක් වන්නට මුල පුරද්දී අකාලයේ තාත්තා ජීවිතයෙන් සමු ගත්තා. උදෑසන ඔහුට කතාකොට කාර්‍යාලයට පැමිණි මා ඔහු බලන්නට රෝහලට යද්දී ඔහු ජීවිතය හැර ගිහින්. ගාල්ලේ අම්බලන්වත්තේ ඉපදී ගාල්ලේ පාසල් ගොස් අවසන පානදුරේ පදිංචිව සිටි ඔහුගේ නිසල සිරුර දුමාරයක් ලෙස වා තලයට මුසු වූ බණ්ඩාරගම සුසාන භූමියේ ගල් පුවරුවක ඔහුගේ මතකය ලෙස ලියැවී තියෙනවා.
කාලයත් සමග මතකයන් කෙමින් කෙමින් වියැකී යන කලක මේ අකුරු කිහිපය සංස්කරණය කරන්නට මට මාස කිහිපයක් ගතවුනා. අම්මා සහ තාත්තා ගැන මතකය සහ අම්මා අදටත් ජීවිතයට ලබා දෙන ශක්තිය වචන වලින් ලියා නිම කල නොහැකි එකක්. එවන් මතකයන් කවදාවත් සිතින් මැකී නොයන්නට පතන්නෙමි.

No comments:
Post a Comment